30.2 C
Colombo
Monday, April 7, 2025

තේ කෝප්පයක් හදාගන්න පුළුවන්කමත් ආශීර්වාදයක් – ස්වර්ණා

- Advertisement -

ස්වර්ණා මල්ලවආරච්චි

අපි මේ දවස්වලට පොදු මාතෘකාවෙන්ම පටන්ගමු?

මමත් කොරෝනාවලට අනෙක් අය වගේම මුහුණ දුන්නා. ගාමිණි ෆොන්සේකාගේ 16 වැනි ගුණසැමරුමට හැර කොහේවත් ගියේම නැහැ. ව්‍යායාමයක් ඕනෙ නිසා උඩු මහලේ ඇවිදින්න යනවා. මට ගෙදර ඉන්න එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මුල ඉඳන්ම වැඩ පස්සේ හඹා නොගිය කෙනෙක් නිසා පැච්වර්ක්, එම්බ්‍රොයිඩරි වගේ නිර්මාණ කරලා අඳුනන පොඩි දරුවන්ට දෙනවා. අලුත් කෑම වට්ටෝරු අත්හදා බලනවා. ගෙදර ඉන්න හිතෙන ක්‍රම තමන් හදාගන්න ඕනෙ. මම ටෙලිනාට්‍යවලට එච්චර කැමති කෙනෙක් නෙවෙයි. ඒත් අන්තර්ජාලයෙන් ලෝකේ පුරා ටෙලිනාට්‍ය නරඹද්දි නම් හිතුණා මේ වගේ ටෙලිනාට්‍යයක නම් රඟපෑවත් මොකද කියලා. රෑට ලෝකෙ හරිම නිහඬයිනේ. ඉතින් නිදහසේ චිත්‍රපට, ටෙලිනාට්‍ය බලලා රෑබෝ වෙලා නිදියලා ටිකක් එළිය වැඩිපුර වැටුණාම ඇහැරලා දවසේ ඉතිරි කටයුතු කරනවා. මට පිටරට යන්න තිබුණා මැයි ජූනි වගේ කාලවල මා වෙනුවෙන්ම කරන උපහාර උලෙළ කීපයකට. ඒවා නතර වුණා. කොරෝනා ලේසියෙන් ඉවර වන එකක් නොවුණත් මම ධනාත්මකව හිතනවා මෙයට එන්නතක් සොයාගෙන යම් කාලයක් ගත වෙද්දි ඒ කටයුතු ආපසු කෙරෙයි කියලා.

මගේ දුව අවුරුදු 14ක් විදෙස්ගතව ඉඳලා දැන් ලංකාවට ඇවිත් ඉන්නේ. ඒ අතිනුත් මම වාසනාවන්තයි මේ කොරෝනා අවස්ථාවේ මගේ දුව මා ළඟම ඉන්න එක හිතට සහනයක්. මේ දවස්වල දුව ඇගේ ආයතනයක වගේම තවත් වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ ආයතනයක උපදේශක කටයුතුවල නිරත වෙනවා නිවෙසේ ඉඳන්ම.

මේක අපි හැමෝටම ඉදිරි ජීවිතේ මොනවාද කරන්න ඕනේ කියලා සැලසුම් කරන්න හොඳ අවස්ථාවක්. ඉතින් තම තමන් පරෙස්සම් වීම තමයි මේ වෙලාවේ සුදුසුම.

දැන් සිනමා සම්මාන උලෙළ ඔන්ලයින් ක්‍රමයටත් පවත්වනවා?

ඒක නම් මට ඒ තරම් හිතට දැනෙන්නේ නැහැ. ජූරිසභිකයන් ලෝකේ කොහේ හරි ඉඳලා චිත්‍රපට බලලා සම්මාන දෙන එක කරන්න නම් පුළුවන්. ඒත් අපි ඒ උත්සව අවස්ථාවට සහභාගි වෙලා ප්‍රේක්ෂකයන් මුණගැහිලා උත්කර්ෂවත් අවස්ථාවක දැනෙන සතුට එයින් ලැබෙන්නෙ නැහැ. (සිනාසෙමින් අසයි) මිනිසුන් සහභාගී නොවන අවස්ථාවක ඇති උත්සවයකුත් නැහැ. වින්දනයකුත් නැහැනේ?

ඒ කියන්නේ ලෝක සිනමාවට මෙය තදින්ම බලපානවා?

මිනිසුන්ට හිතෙනවා ඇති අපි හරි අවාසනාවන්තයි කියලා. ඒත් ලෝක ඉතිහාසය බැලුවාම වරින් වර මෙහෙම දේවල් එනවා යනවා. කොරෝනා සමනය වෙද්දි සිනමාවත් ක්‍රමයෙන් ආපසු ඉහළට එයි. අපි ඒ ගැනත් ධනාත්මකවයි හිතන්න ඕනා. ඊයේ දවස හොඳ නම් අද දවස හොඳ නම් හෙටත් හොඳ වෙයි කියල ප්‍රාර්ථනා කරලායි අපි රෑ නින්දට යන්න ඕනෙ. මේ වගේ වෙලාවක අපට ඉන්න හිටින්න වහලක් තියෙන එක, කන්න බොන්න දෙයක් තියෙන එක, කාලය ගෙවන්න විනෝදාංශයක් තියෙන එක ආශීර්වාදයන්. මේ වසංගතයත් සමඟ අපි ‘අය්යෝ එළියට යන්නවත් නෑනේ’ කියලා තැවි තැවී ඉන්නේ නැතිව සතුටු වෙන්න ඕනේ අපට තිබෙන දේවල් ගැන හිතලා.

ඔබ බොහොම ධනාත්මකවයි කතා කරන්නේ?

මගේ ජීවිතේ හැරිලා බැලුවාම මට ලැබුණු සම්මාන, ජීවිතේ ලැබුණු චිත්‍රපට කොයිතරම්ද? මගේ ෆෑන් පේජ් එකේ සතියකට සැරයක් හරි කවුරුම හරි කෙනෙක් මම රඟපෑව චිත්‍රපටයක් ගැන දිග ලිපි ලියනවා. ඒකම කොයි තරම් ආශීර්වාදයක්ද? සතුටක්ද? උදේ නැඟිට්ටාම ඇඳෙන් බැහැලා ගිහින් තේ කෝප්පයක් හදාගන්න පුළුවන්කමත් ආශීර්වාදයක් නෙවෙයිද? එහෙම නැති අය කොච්චර ඉන්නවාද ලෝකේ. ධනාත්මකව හිතුවාම විශ්වයෙන් පවා අපට ධනාත්මක ශක්තිය ලැබෙනවා. ඒ වගේමයි අපි චිත්‍රපට උලෙළක සම්මානයක් ලබන්න වේදිකාවට යද්දි හැමෝම සුබ පතනවා. හැම දෙනාගෙම සතුට එකට කැටිවෙලා ගඟක් වගේ හෝ ගාලා අත්පුඩි ගහනකොට එන ශක්තිය! ඒකමත් ආශීර්වාදයක්. ඒ නිසා හැමදාම යාඥා කරද්දි මම කියන්නේ මගේ මුවගට සිනහවක් ගෙන ආ හැම දෙනාටම දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා කියලා. හිතට ප්‍රශ්න එන්න පුළුවන්. ඒවාට නහයෙන් අඬනවාට වඩා වෙන යහපත් දේකට ඇබ්බැහි වෙන එකත් හොඳයිනේ? (ඇය සැහැල්ලුවෙන් සිනාසී පවසයි)

දැන් ජීවිතේ කිසිම දෙයක් ගැන කනගාටුවක් නැද්ද?

ආපස්සට හැරිල බලනකොට මගේ ජීවිතේ කනගාටු වෙන්න දේවල් නැහැ. ඒ ඒ අවස්ථාවලට අනුව අත්දැකීම්වලට මුහුණ දුන්නා. අපි කාටවත් වරදක් කරලා නැහැ. ශාප කරන්නෙත් නැහැ. එතකොට හරි ලේසියි ජීවත්‌ වෙන්න. චිත්‍රපටයක වුණත් දර්ශනයක් රූපගත කරලා ඉවර වුණාම අධ්‍යක්ෂගේ, සහාය නළුනිළියන්ගේ සහ අවට ඉන්න අයගේ මුහුණෙන් මම දන්නවා ෂොට් එක හරියට කළා කියලා. ඒ වගේ මොකක්දෝ විශාල ආශිර්වාදයක් මට තිබෙනවා. රඟපෑමෙන් මම ලොකු තෘප්තියක් ලැබුවා. කාගෙන් හෝ මට වරදක් වුණා නම් ඒ සමහරු ඇවිත් මට සොරි කියලා තියෙනවා. එහෙම හරි එන්නේ අපි ඒවාට පළිගන්න එහෙම නොහිතූ නිසානේ.

නෙල්සන් මැන්ඩෙලා‌ගෙන් මාධ්‍යවේදියෙක් අහනවා “ඔබට රිදවූ අයගෙන් පළිගන්න හිතෙන්නේ නැද්ද?” කියලා. මැන්ඩෙලාගෙ උත්තරය දන්නවාද? “මට වෙලාවක් නැහැ පළිගනිමින් ඉන්න. මට වෙලාව තියෙන්නේ ජීවත් වෙන්න විතරයි”

කිසිම ආගමක කියලා නැහැ නරක දේවල් කරන්න කියලා. අපට ඇහැට පේන දේකට තිබෙන්නේත් අපි කාට හරි හොඳක් කරලා ලබන සතුට විතරයි. මම ශාන්තුවරියක් වගේ කතා කරනවා නෙවෙයි. හැබැයි අපි යම් වයසකට ආවාම ආපස්සට බලද්දි හිතෙන්නේ එහෙමයි. අපෙත් තරුණ කාලේ අපට හිතන්න වෙලාව නැහැ. බලාපොරොත්තු වැඩියි. ආශාවන් වැඩි නිසා සමහර දේවල් ගැන හිතාගන්න බැරුව යන්න පුළුවන්. හැබැයි මම අවුරුදු විස්සෙදිවත් පනහේදීවත් කොයි වයසෙදිවත් ආපස්සට හැරිලා කනගාටු වෙලා නැහැ. හැමදාම ධනාත්මකවයි හිතුවේ. වැරැද්දක් වුණා නම් ඒ දේ ආයේ නොකරන්න වගබලාගන්න එක තමයි ජීවිතේ අත්දැකීම්, පාඩම් කියන්නේ.

(සම්මානනීය නිළි ස්වර්ණා මල්ලිවආරච්චි සරසවිය සමඟ කළ සංවාදයකි. සම්පූර්ණ සාකච්ඡාව මෙතැනින් බලන්න.)

RECENT ARTICLES - SINHALA

ජනපති සහ IMF නියෝජිතයින් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා. ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...

අවුරුද්දට ගමේ යන අයට විශේෂ දැනුම්දීමක්

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන මගීන් සඳහා ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් දුම්රිය දෙපාර්තමේන්තුව සහ ගමනාගමන කොමිෂන් සභාව විසින් සකස් කර...

Breaking : කොළඹ නගර සභා ඡන්දය කැන්සල්

කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමේ කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණය  අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. මෙසේ ඡන්දය පැවැත්වීමේ කටයුතු තහනම් කර...

POPULAR ARTICLES

ජනපති සහ IMF නියෝජිතයින් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා. ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...

Breaking : කොළඹ නගර සභා ඡන්දය කැන්සල්

කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමේ කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණය  අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. මෙසේ ඡන්දය පැවැත්වීමේ කටයුතු තහනම් කර...

අවුරුද්දට ගමේ යන අයට විශේෂ දැනුම්දීමක්

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන මගීන් සඳහා ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් දුම්රිය දෙපාර්තමේන්තුව සහ ගමනාගමන කොමිෂන් සභාව විසින් සකස් කර...