පුද්ගලයෙකු පහර දුන් බව පවසා හලාවත රෝහල ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් කළහකාරී ලෙස හැසිරුණු මව පියා ඇතුළු එකම පවුලේ පස් දෙනෙකු සහ පහර දුන් බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දැදුරුඔය, හලාවත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 17 ත් 55 ත් අතර පසු වන එකම පවුලේ පිරිසක් සහ හලාවත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙක්.
කාලයක් තිස්සේ දෙපිරිසක් අතර පැවති ආරවුලක් හේතුවෙන් පුද්ගලයකුට පහර දී ඇති බවයි පොලිසිය පවසන්නේ.
පහර කෑමට ලක් වූ බව කියන පුද්ගලයා හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් රෝහල් ගේට්ටුවෙන් එළියට දමා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
අනතුරුව එම පුද්ගලයා තම මව පියා සහ සහෝදරියන් දෙදෙනා ද සමඟ හලාවත රෝහල ඉදිරිපිට තමාට පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලෙස පවසමින් මාර්ගය අවහිර කරමින් කලහකාරී ලෙස හැසිරී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.