2012 වසරේ ධීවර යාත්‍රාවක් පැහැරගෙන තවත් ධීවරයින් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ධීවරයින් හත් දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (24) මරණ දඬුවම නියම කළා.
2012.10.15 දින හෝ ඊට ආසන්න දිනයක දී නීතිවිරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට පළායෑමේ අරමුණින් ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර රැකියාවක නිරත වූ පුද්ගලයින් රැගත් ‘තේජාන්’ නැමති ධීවර යාත්‍රාව පැහැරගෙන එහි සිටි ධීවරයින් තිදෙනෙකු ඝාතනය කර තවත් ධීවරයින් කිහිපදෙනෙකුට බරපතළ තුවාල සිදුකර බෝට්ටුව පැහැරගෙන ඔස්ට්‍රේලියාවට යෑම ඇතුළු චෝදනාවලට වරදකරුවන් වූ ධීවරයින් 7 දෙනෙකුට අද කොළඹ මහාධිකරණ විනිසුරු අධිත්‍ය පටබැඳිගේ මහතා විසින් අදාළ නියෝගය ලබා දී තිබෙනවා.
මේ අතර, එම නඩුවේ 10 වන විත්තිකාරිය ලෙස නම් කර තිබු තැනැත්තිය සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබුණා.
මරණීය දණ්ඩනය නියම කළ අධි චෝදනා තුනට අමතරව සෙසු අධි චෝදනා 6ට එම විත්තිකරුවන්ට බරපතළ වැඩ සහිත වසර 29ක සිරදඬුවම්ද නියම කළ විනිසුරුවරයා රුපියල් මිලියන 2යි රු 8500 බැගින් වූ දඩයක් ගෙවීමට ද නියම කර තිබෙනවා.
මරණ දණ්ඩනයට අමතරව නියම කරනු ලැබූ සිරදඬුවම් එකවර ගෙවී යන ලෙසට ද විනිසුරුවරයා එහිදී නියම කළා.
නීතිපතිවරයා විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
ඉන් විත්තිකරුවන් තිදෙනෙක් නඩු විභාගය අතරතුර හෝ නඩු විභාගය ආරම්භ කිරීමට පෙර මියගොස් තිබීම නිසා විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව අධිකරණය හමුවේ නඩු කටයුතු මෙහෙයවා මෙම තීන්දුව ලබා දී තිබෙනවා.