ගුරුවරයෙකු විසින් දරුවන්ට අමානුෂික ලෙස පහරදීම පිලිබඳව සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන පුවතක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
කොළඹ අධ්‍යාපන කලාපයේ බාලක පාසලක පන්තිභාර ගුරුවරයකු විසින් තුන්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන්ට මෙලෙස ලෝහමය පටියකින් පහරදෙමින් දඬුවම් ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් පසුගියදා ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් ලැබී තිබු අතර සිදුවීම මේ වන විට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකයට යොමු කර තිබෙනවා.
ඒ අනුව දඬුවමට ලක්වූ 7 හැවිරිදි සිසුන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර අදාළ පාසලේ නියෝජ්‍ය විදුහල්පති සහ දෙමාපියන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීතිය බලාත්කම කිරීම අංශයේ – අධ්‍යක්ෂ, නීතීඥ සජීවනී සජීවනී අබේකෝන් සඳහන් කළේ අදාළ ගුරුවරයා විසින් දරුවන්ට පහර දී ඇත්තේ යම් කිසි දෙයක් කටපාඩම් කිරීමට නොහැකිවීම හේතුවෙන් බවයි.
දණ්ඩ නීති සංග්‍රහයේ 308වන වගන්තිය අනුව භාරය සහ ආරක්ෂාව දරමින් අවුරුදු 2- 10ත් අතර දරුවන් ශාරීරිකව මානසිකව හිංසනයට ලක් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ඇය පෙන්වා දුන්නා.
සිද්ධිය සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 308වන වගන්තිය යටතේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ඇය තවදුරටත් පවසා සිටියා.
කෙසේවෙතත්, සැකකාර ගුරුවරයා බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වන විටත් සැඟවී සිටින බව වාර්තා වෙනවා.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ, සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවයි.