ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයෙකු වන හල්දුමුල්ල, ඌව පරණගම ප්‍රා දේශීය ලේකම් චමිල ජයසිංහ ‘විමර්ශන නිලධාරීන්ට පිහියෙන් අනින්නට යන‘ මරු බඩුවකි.
චමිල ගේ වැඩ බොහෝ දෙනා දන්නේ නැත. හැබැයි චමිල් ගේ වැඩ දන්නා මිනිහෙකු වුව ද, අද පොලීසිය මහෙස්ත්‍රාත් ට කිව්ව මේ කතාව නම් විශ්වාස කරන්නේ නැත.
චමිල පරිසරයට ප්‍රේස් බුකියේ නොව ඇත්තටම ආදරය කළ නිලධාරියෙකි. මම දන්නා කථා දෙකකි. ග්‍රාන්ඩ්ස් නම් ටර්පන්ටයින් ලී වර්ගය බදුල්ල දිස්ත්‍රික්කය තුල ප්‍රවාහනයට බලපත්‍රයක් අවශ්‍ය ය.
නමුත්, ජවාරම්කරුවන් පොලීසිය සමඟ එක්ව බලපත්‍ර නැතිව දැව ප්‍රවාහනය කරයි. චමිල ඌව පරණගම සිට දිගට හරහට මේ දැව ජාවාරම ඇල්ලුවේය. ඒ නිසා චමිලට ඌව පරණගමින් හල්දුමුල්ලට මාරුවක් ලැබුණේය.
හල්දුමුල්ලේ ප්‍රා.ලේ. ලෙස ද චමිල දිගටම ගාර්චිස් හොර ලී ඇල්ලුවේය. හල්දුමුල්ලේ සිට මරංගහවෙල දක්වා ලී ලොරියක් පන්නන්ට ගතවන්නේ විනාඩි 30 කට අඩු කාලයකි. මරංගහවෙල පැන්නාම සබරගමුව පලාතය. හල්දුමුල්ලෙන් – හාලිඇළට මාරුකරන්න හැදුවේ මේ නිලධාරියා අර විනාඩි 30 තුල දැව ලොරි පිටින් අල්ලන්නට පටන් ගත් නිසාය.
හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කරද්දී සමනල වැව සිට අයිස් පීල්ල (වැල්ලවාය) දක්වා කොටසේ අලි වැටක් හදන්නට 2018 දී යෝජනා විය. ප්‍රා.ලේ. චමිල තවත් පිරිසක් සමඟ එහි යන විට වල්මීතලාව (වෑඑළිය) කොටසේ වට අඩි 16 ක ඉතා වටිනා දැව (ගසක්) බිම දමා තිබුණි. හේතුව ලෙස කියවුනේ සොරගුණේ රජමහ විහාරයේ වහල හදන්නට කියාය. වැඩේට සම්බන්ධව සිටියේ හාමුදුරුවෝ නමකි. ඊට පස්සේ වල්වීතලාවේ ගස් කැපිල්ල චමිල යන තුරුම සිද්ද වුනේ නැත.
බඹරකන්ද දිය ඇල්ල පේන මානයේ පැස්සැල්ල පන්සලේ හාමුදුරුවන්ගේ ඉඩම ක් කියා කණ්ඩායමක් හෝටලයක් හදන්නට හැදුවේය. චමිල විසින්ම එහි කථාව පසුගිය කාලයේ ලියා තිබූ බැවින් මම නැවත ලියන්නේ නැත. එහි වන වගාව සිදු කරන දවසේ ඡායාරූපයක් පමණක් පළ කළෙමි.
හපුතලේ ගැප් එකේ අනවසර ඉදි කිරීම් ඉවත් කළේ චමිල ය. දැන් එහි ඇති තරම් පෙට්ටිකඩ ඉදිවෙමින් ඇති බව පසුගිය මාසයේ මම දුටුවෙමි.
රහස් පොලීසිය පරිසර පොස්ට් එකක් ගැන අත්අඩංගුව ගන්නේ එවැනි නීති ගරුක නිලධාරියෙකු වූ චමිල රණසිංහ ය. චෝදනාව ලංකාවේ වන විනාශය ගැන වැරදි තොරතුරු සමාජ මාධ්‍ය යේ දැමීම ය. චමිල ගේ පෝස්ට් ලංකාවේ වනාන්තර විනාශය ගැන, නීතිය හා ව්‍යවහාරය ගැන ජන මතයක් ඇති කිරීමට සමත් විය.
2019 වසරේ දී හදිසියේම චමිල හල්දුමුල්ලේ සිට හාලි ඇළ ප්‍රා.ලේ. ලෙස මාරුකරන්නට දේශපාලනඥයින් පිරිසකට උවමනා විය. එ් වන විට මම දකුණේ ආණ්ඩුකාරවරයා ය. මාරුකිරීම නැවතුණි. හැබැයි, කට්ටිය පසුව චමිල සුක්ෂම ලෙස එලවා දැමූවේ ඔහුගේ ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දීමට බිය නැතිකම ම දුර්වලතාවයක් බවට පත් කර ගනිමිනි.
චමිලට එල්ල වී ඇති චෝදනාව ‘කුණුහරුපය’ කි. ප්‍රාදේශීය ලේකම්වරයෙකු ලෙස පරිසරය ට අති මහත් සේවයක් කළ පරිපාලන සේවයේ නිලධාරියෙකු නීතිය නොදන්නේ නැත. විශේෂයෙන්ම චමිල පරිසර නීතිය නොදන්නේ නැත. ඇත්ත නම්, පරිසර නීතී තඹයකට මායිම් නොකරන රටක චමිල රාජ්‍ය නිලධාරියෙකු වී සිටින බව ය.
රජය, තමන්ට වත්තම් නැති රාජ්‍ය නිලධාරීන් මර්ධනයට නිර්ලැජ්ජිත ලෙස අතගසා සිටී. ඒ ගැන ඇති තරම් සිද්ධි පසුගිය කාලයේ වාර්තා විය. පරිපාලන සේවා සංගමය තවමත් මේ ගැන එකම වචනයක් කියා නැත. හෙට අනිද්දා ස්ථාන මාරුවක් ලබන්නට නියමිතව සිටින පරිපාලන සේවා සංගමයේ සභාපතිවරයා නම් මේ ගැන කතා කරනවා කියා හිතන එකත් බොරුවකි.
සමාජ මාධ්‍ය තුල චමිල ජයසිංහ ගේ අත්අඩංගුවට ගැනීම ගැන දැඩි විවේචනයක් මතුවෙමින් ඇත. නමුත්, රාජ්‍ය සේවයේ කිසිවෙකුත් මේ ගැන වචනයක් ලියන්නේ නැත.
මිත්‍රවරුනි, ශ්‍රී ලංකා පරිපාලන සේවය අත පය ගැට ගහනකොට කෑ ගහන්නේ නැත්තම්, ඔළුව කුඩුවෙන්න වෙඩි තියනකොට හුස්ම ගන්නවත් කට අරින්නට හැකි වන්නේ නැත. තෝරා ගැනීම ඇත්තේ ඔබ අතේමය.
රජිත් කීර්ති තෙන්නකෝන්
ඡායාරූපය – චමිල මැදිහත්වී නැවැත්වූ ඉඩම් කොල්ලයකින් පසුව දියත් කළ වන වගා වැඩසටහනක් අතරතුර