මහවෙල මඩවල උල්පත ප්‍රදේශයේ සිසුවෙකු අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සියලුදෙනාට දැඩි දඬුවම් ලබාදෙන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීන් අද (03) විරෝධතාවක නිරත වි තිබෙනවා.
ඔවුන් එම සිසුවා ජීවත්ව සිටි මඩවල නාලන්දාවත්ත ප්‍රදේශයේ සිට ඔහු අධ්‍යාපනය ලැබූ කවුඩුපැලැල්ල කලෛයිමගල් දෙමල විදුහල ඉදිරිපිටදී මෙම විරෝධතාවයේ නිරතවු බවයි වාර්තා වන්නේ.
මාතලේ මඩවල උල්පත ප්‍රදේශයේදී සිදුවූ පහරදීමකින් එම්. යුගේස් නමැති 17 හැවිරිදි පාසල් සිසුවා පසුගිය අඟහරුවාදා (01) මියගියා.
සිය මිතුරාගේ පෙම්වතිය යැයි පැවසෙන 16 හැවිරිදි සිසුවිය හමුවීම සඳහා ඔහු තවත් මිතුරන් දෙදෙනෙකු සමග යතුරු පැදියකින් එම ප්‍රදේශයට ගොස් තිබුණේ ඇයව හමුවන ලෙසට සිය පෙම්වතාට කර තිබූ දැනුම්දීම අනුවයි.
එදින පස්වරුවේ එම නිවස වෙත ගිය ඔවුන් නිවස අසල සිය යතුරුපැදිය නැවතීමත් සමග පෙම්වතියගේ සහෝදරියක් විසින් යතුරුපැදියේ යතුර රැගෙන තිබෙනවා.
මහවෙල පොලීසිය පැවසුවේ, එහිදී ඇතිවූ බහින්බස්වීම දුරදිග ගොස් ඇතිවූ තත්ත්වයත් සමග දෙමස් ගැබිනියක් වූ සහෝදරිය බිම ඇද වැටීමෙන් කලබල වූ ඇයගේ සැමියා සිසුන් තිදෙනාට පහරදී ඇති බවයි.
එම අවස්ථාවේදී නිවස තුළ සිටි සිසුවියගේ පියා, තවත් සහෝදරියක් සහ ප්‍රදේශවාසීන් දෙදෙනෙකු ගැටුමට මැදිහත් වී තිබෙනවා.
ඔවුන් පොලුවලින් සහ ආරක්ෂක හිස් වැසුමකින් පහරදීමත් සමග යුගේස් නමැති සිසුවා බිම ඇද වැටී ඉන් බරපතළ තුවාල ලබා මාතලේ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.
මියගිය සිසුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (04) සිදුකිරීමට නියමිතයි.
අනෙක් මිතුරන් දෙදෙනා රෝහල්ගතව ඇති අතර පහරදීමට අදාළව 16 හැවිරිදි සිසුවිය, ඇයගේ පියා, සහෝදරියන් දෙදෙනා, සහෝදරියකගේ ස්වාමිපුරුෂයා සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.