අධිකරණය හමුවේ කැඳවනු ලැබූ නඩුවක පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ (01) ඉදිරිපත්වීමෙන් අනතුරුව වරෙන්තුව ආපසු කැඳවා අමතර ඇපයක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.
වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.
කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ ඊයේ මෙම නඩුව කැඳවා තිබුණා.
මෙහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සඳහන් කළේ, නඩුව කැඳවූ ඉකුත් 23 වනදා මෙම විත්තිකරු අධිකරණයට නොපැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් දීම සඳහා ගොස් ඇති බවයි.
කෙසේවෙතත් විත්තිකරු ඉදිරිපත් කරන කරුණු කෙරෙහි සෑහීමකට පත්විය නොහැකි බව සඳහන් කළ විනිසුරුවරයා ඔහුට අමතර ඇපයක් නියම කරන බව නියෝග කළා.
ඒ අනුව ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කළ විනිසුරුවරයා ඇප තැන්පත් කිරීමෙන් පසුව විත්තිකරු මුදාහරින ලෙසත් නියෝග කළා.
ඉන් අනතුරුව නඩුවේ විභාගය ජනවාරි මස 27 වනදාට කල් තැබුණා.