27 C
Colombo
Thursday, November 7, 2024

රත්වත්තේ භාවිත කළ මෝටර් රථයේ අංක තහඩුව ගැන අධිකරණයේදී එළියට ආ කථාව

- Advertisement -

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් ඔහුගේ පළමු බිරිඳට අයත් වාහනයක අංක තහඩුව සහ චැසි අංකය භාවිත කරමින් අවස්ථා ගණනාවකදී ප්‍රශ්නගත මෝටර් රථය භාවිත කර ඇති බව අද (07) අධිකරණයේදී හෙළිදරව් වුණා.

එහිදී පොලිසිය වෙනුවෙන් කරුණු දක්වමින් පොලිස් නීති කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර මහතා ඒ බව සඳහන් කළා.

නීති විරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳ අද නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී ඔවුන්ව ලබන 18 වනදා දක්වා නැවත වතාවක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා.

පොලිස් නීති කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සියදිවි නසාගත් ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා අදාළ රථය ගෙනැවිත් දැමූ බවට සැකකරුවන් කළ ප්‍රකාශ අසත්‍ය බවයි.

අදාළ රථය සැකකරුගේ දෙවන බිරිඳවන ශෂි ප්‍රභා රත්වත්තේට අයත් මිරිහාන නිවසේ ගාල්කර තිබූ බවත් ස්වයංක්‍රීය ගේට්ටු සවිකර ඇති එම නිවස සැකකරුවන් දෙදෙනාට පමණක් ප්‍රවිෂ්ට විය හැකි ස්ථානයක් බවත් පොලිසිය අධිකරණයට දැනුම්දුන්නා.

ටොයෝටා ලෙක්සස් රථයක් වන අදාළ රථයෙන් 2021/10/17 දින සැකකරු මානව හිමිකම් කොමිසමට ගොස් ඇති බවත් ඊට අදාළ විඩියෝව අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය මෙහිදී අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර මහතා.

“පොලිසියේ භාරයට ගත් මෝටර් රථයේ අංකය වන KY-6764, සැකකාර රත්වත්තේ මහතාගේ පළමු බිරිඳ වන නිරූපා ඩයස් යන අයට අයත් වාහනයක්. එය ටොයෝටා ඇක්වා වර්ගයේ මෝටර් රථයක් වන අතර එහි අංකය ප්‍රශ්න ගත ටොයොටා ලෙක්සස් වාහනයට සවිකර ධාවනය කර තිබෙනවා. ප්‍රශ්නගත වාහනය නුවර කටුගස්තොට ටොයෝටා ලංකා සමාගමට ගොස් 2020 අගෝස්තු මස 8 සහ 17 දෙදින තුළදී සේවා කටයුතු සිදුකර තිබෙනවා. ඊට අදාළ ඉන්වොයිස් පත්‍ර පොලිස් භාරයට ගනු ලැබුවා. එම කටයුතු සිදුකර තිබෙන්නේ KY-6764 ටොයොටා ඇක්වා වාහන අංකය යටතේයි. ප්‍රශ්නගත වාහනේ චැසි අංකයත් ව්‍යාජ ලෙස කොටා තිබෙනවා. චැසි අංකය ලෙස භාවිතකර ඇත්තේ, බිරිඳගේ වාහනේ චැසි අංකයයි. රජයේ රස පරීක්ෂකවරයා විසින් වාහනයේ නියම චැසි අංකය සොයාගෙන තිබෙනවා.”

එහිදී නුගේගොඩ මහෙස්ත්‍රාත්වරිය විමසා සිටියා අදාළ මෝටර් රථය වසර කීයක් භාවිත කර තිබෙනවාද යන්නයි?

ඊට රුවන් ගුණසේකර මහතා ,

“2020 සිට වාහනය භාවිත කර තිබෙනවා. මීට අදාළව එම වාහනය භාවිත කළ රියදුරු සුමිත් ජයරත්තගෙන් ප්‍රකාශ ලබාගත්තා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නැහැ. රේගුවේ ලියාපදිංචි කර නැහැ. රේගුවට අනුව ප්‍රශ්නගත වාහනේ වටිනාකම රුපියල් මිලියන තිස්තුනකට අධිකයි. රේගු ආඥා පනත යටතේ වරදක් සිදුකර තිබෙනවා. මුදල් විශුද්ධිකරණය පනත යටතේ වැරදි සිදුකර තිබෙනවා. ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ සහ මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ, සැකකරුවන් දෙදෙනා වරදවල් කර තිබෙනවා.”

එහිදී පළමු සැකකරු වන ලොහාන් රත්වත්තේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා.

“මෙය දේශපාලන මැදිහත්වීමක් මත සොරකම් කරන ලද වාහනයක් නම් ඔප්පු කිරිමේ භාරයට යටත්ව විමර්ශන කළ යුතුයි. එමෙන්ම වාහනය හෝ සැකකරු අත්අඩංගුවට ගත් වහාම ශ්‍රී ලංකා රේගුව වෙත විමර්ශන සඳහා භාරදිය යුතුයි. එලෙස විමර්ශන කරන්නේ නැතුව ප්‍රාථමික අවධියේම සැකකරුවත් අඩංගුවට ගත්තා. දේශපාලන සංදර්ශනය සඳහා පොලිසිය කටයුතු කර තිබෙනවා. එය යුක්ති සහගත නෑ, සුදුසු ඕනෑම කොන්දේසියක් යටතේ තමාගේ සේවාදායකයා ඇප මත මුද හරින ලෙස ඉල්ලා සිටිනවා.”

දෙවන සැකකාරිය වෙනුවෙන් නීතිඥ විදුර මංචනායක මහතා ඇතුළු නීතිඥවරු පිරිසක් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ,

“නීත්‍යානුකූල නොවන අයුරින් මගේ සේවාදායිකාවගේ වට්ස්ඇප් අංකයට ලැබුණු නොතීසියකට අනුවයි අපි අධිකරණයට පැමිණියේ. පළමු සැකකරු ඇයගේ විවාහක ස්වාමිපුරුෂයා. ඔවුන් දෙදෙනා විවාහ වී වසර එකහමාරක් පමණ ගත වෙනවා. මේ සිද්ධිය වී තිබෙන්නේ, එම විවාහයටත් පෙරයි. ඇය වරදක් ලෙස සිදුකර තිබෙන්නේ, ඔහු ස්වාමියා ලෙස පිළිගැනීම පමණයි. ඒ අනුව සුදුසු ඕනෑම ඇපයක් මත ඇය මුදාහරින ලෙස ඉල්ලා සිටිනවා.”

සැකකරුවන් වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ, සැකකරුවන් ලබන 18 වනදා දක්වා බන්ධනාගාර ගත කරන ලෙසටයි.

එමෙන්ම සැකකරුවන් දෙදෙනාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමටත් අධිකරණයට යොමුකළ වීඩියෝ සාක්ෂි රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකරන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

අලි ඇතුන් නඩුව සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝග‍යක්

ලියාපදිංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධීන්වලට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර තිබෙන නඩුව විභාග කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය...

ලෝකයේ වැඩිම ආකර්ෂණීය දූපත

2024 වසරේ Wanderlust Reader Travel Awards තරගාවලියේ දී ලෝකයේ වැඩිම ආකර්ෂණීය දූපත (Most Desirable Island) ලෙස ශ්‍රී ලංකාව රන් පදක්කම දිනාගැනීමට සමත් වී තිබෙනවා. එහිදී...

කොළඹ අඳුරු වෙලා

කොළඹ ඇතුලූ‍ දිවයිනේ නගර බොහෝමයක වායු ගුණ තත්ත්ව දර්ශකය සුලු වශයෙන් අහිතකර මට්ටම වෙත ලගා වී තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ ඒ හේතුවෙන්...

POPULAR ARTICLES