ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් මෙරටට ගෙන්වීමට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගෙන ආ කැබිනට් පත්‍රකාවට අනුමැතිය දීම සම්බන්ධයෙන් එවකට කැබිනට් මණ්ඩලය නියෝජනය කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍යවරුන් 18 දෙනෙකුගෙන් ඉදිරියේදී ප්‍රකාශ ලබාගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මියට දැනුම් දුන්නා.
එහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කියා සිටියේ, ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිදුවීමට අදාළව ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින් ඖෂධ වර්ග 182ක් මිලදී ගැනීමට 2022 සැප්තැම්බර් 26 වනදා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාව යොමුකරන අවස්ථාවේ කැබිනට් මණ්ඩලයේ තවත් සාමාජිකයන් 18 දෙනෙකු සිට ඇති බවයි.
අදාළ කැබිනට් පත්‍රකාවේ අවශ්‍ය ඖෂධ මොනවාද යන්න හෝ සඳහන් නොවූ පසුබිමක, සත්‍ය වශයෙන්ම ඖෂධ හිඟයක් පැවතියේද යන්න හෝ සොයාබැලීමකින් තොරව කැබිනට් මණ්ඩලය කැබිනට් පත්‍රකාවට අවසරය දුන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රකාශ සටහන් කළ යුතු බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළා.
ඒ අනුව ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිදුවීමට අදාළ කැබිනට් පත්‍රිකාවට අවසර දීම සම්බන්ධයෙන් එවකට මුදල් අමාත්‍ය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල, ඩග්ලස් දේවානන්ද, සුසිල් ප්‍රේමජයන්ත්, බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර, විජයදාස රාජපක්ෂ, හරින් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, විදුර වික්‍රමනායක, කාංචන විජේසේකර, නසීර් අහමඩ්, රොෂාන් රණසිංහ, ටිරාන් අලස්, නලීන් ප්‍රනාන්දු සහ ජගත් පුෂ්පකුමාර යන තැනැත්තන්ගෙන් ඉදිරියේදී ප්‍රකාශ ලබාගැනීමට බලාපොරොත්තුවන රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නා.