නුවරඑලිය ගෝල්ෆ් ක්‍රිඩාංගණයේ වසර 100 වඩා ඉපැරණි ගාන්ඩිස් ඇතුළු නුවරඑලිය ප්‍රදේශයට ආවේනික වු රුස්ස ගස් පනහක බඳෙහි පොතු ගලවා කළු තෙල් තවරා ගස් විනාශ කිරිමට සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
නුවරඑලිය මුලස්ථාන පොලිස් ස්ථානයේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් නුවරඑලිය ගෝල්ෆ් ක්‍රීඩා සමාජයේ පාලන අධිකාරියට එරෙහිව පැමිණිලි දෙකක් මේ වන විටත් ලැබී ඇති බවයි.
නුවරඑලිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා සහ නුවරඑලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගෙන් මෙම පැමිණිලි ලැබි ඇති අතර, පැමිණිලි සම්බන්ධයෙන් හක්ගල උද්භිත උද්‍යානයේ නිලධාරින්ගෙන් ගස් විනාශ වි ඇත්ද යන්න පිලිබදව වාර්තාවක් කැඳවන බවද ඔහු සඳහන් කළා.
නුවරඑලිය මහ නගර සභාව සහ නුවරඑලිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මඟින් වසර 99 ක් සදහා බදු පදනම යටතේ නුවරඑලිය ගොල්ෆ් ක්‍රීඩා සමාජය වෙත ලබා දී ඇති ඉඩමෙහි වගා කර තිබු රූස්ස ගාන්ඩිස් සහ නුවරඑලිය ආවේනික රුස්ස ගස් 50 ක් ඉතා සුක්ෂම ලෙස විනාශ කිරීම සඳහා ගස් වල බඳෙහි පොතු ගලවා කළු තෙල් ගල්වා තිබීම සම්බන්ධයෙන් සොයා බැලීමට (21) දින නුවරඑලිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා, වනජීවී දෙපාර්තුමේන්තුව, දැව සංස්ථාව, මධ්‍යම පරිසර අධිකාරිය, හක්ගල උද්භිත උද්‍යානයේ නිලධාරීන් ගොල්ෆ් ක්‍රීඩා පිටියේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වී තිබුණා,
එම චාරිකාවෙන් අනතුරුව අදාළ රාජ්‍ය ආයතන විසින් වෙන් වෙන් වශයෙන් ක්‍රීඩා සමාජයේ පාලන අධිකාරියට එරෙහිව නෛතික පියවර ගැනිමට තිරණය කර තිබෙනවා.
අදාළ ආයතනවල නිලධාරීන් මෙම ක්ෂේත්‍ර චාරිකාවේ නියැලුණේ නුවරඑලිය ප්‍රදේශයේ කිසිදු අවධානමක් නොවන ගස් කපා දැමිමට අවසර ලබා නොදිම හමුවේ ගොල්ෆ් ක්‍රිඩා සමාජයේ පාලන අධිකාරිය විසින් අවධානමක් නොවන රුස්ස ගස් පනහක් ඉතා සුක්ෂම ලෙස විනාශ කිරිමට කටයුතු කර තිබිම සම්බන්ධයෙන් (21) දින මාධ්‍ය මඟින් හෙළිදරව් කිරීමත් සමඟයි.
නුවරඑලිය මහ නගර සභාව විසින් බදු ලබා දි තිබෙන ඉඩමේ ඇති නිශ්චල සහ චංචල දේපල වලට කිසිදු හානියක් සිදු නොකරන ලෙසට කොන්දේසි පනවා තිබියදී එම කොන්දේසි උල්ලංඝනය කර රුස්ස ගස් විනාශ කර ඇති බවත්, එසේ විනාශ කර ඇති ගස් යළි ප්‍රතිස්ථාපනය කළ නොහැකි බවත් ක්ෂේත්‍ර චාරිකාවට එක් වු රාජ්‍ය ආයතන නියෝජනය කළ නිලධාරින් පවසා තිබෙනවා.
ගොල්ෆ් ක්‍රිඩා පිටියේ තෘණ මත රුස්ස ගස් වල කොළ වැටීම මෙන්ම, එම ක්‍රිඩා පිටියේ සේවය කරන කාර්ය මණ්ඩලයට සහ සේවකයින්ට නේවාසිකාගාරයක් ඉදි කිරිමේ අරමුණින් මෙසේ රුස්ස විනාශ කිරිමට එහි පාලන අධිකාරිය පියවර ගෙන ඇති බව නුවරඑලිය ප්‍රාදේශිය ලේකම් ප්‍රදිප් දලන්සුරිය මහතා සඳහන් කරනවා.
නුවරඑලිය නගර මධ්‍යයේ පිහිටි අක්කර 300 ක වපසරියකින් යුත් වටිනාකමින් ඉහල මෙම ඉඩම කොළඹ ප්‍රදේශයේ සීමිත ඉහළ පැලැන්තියේ පිරිසකගේ විනෝදාස්වාදය සඳහා දිර්ඝ කාලින බදු පදනම මත ලබා දී ඇති බවත්, ඒ තුළින් දේශීය සංචාරක කර්මාන්තයට හෝ නුවරඑලිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ට කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවත් නුවරඑලිය ප්‍රදේශයේ පරිසරවේදීන් පෙන්වා දෙනවා.
(හැටන් – රංජිත් රාජපක්ෂ)