විදේශ රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් ලබා ගෙන වංචාකර සැඟව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කණ්ඩායමකට සැකකරු සිදුකළ පහරදීමකින් උප පොලිස් පරීක්ෂකවරයකු තුවාල ලබා ඇති බව මඩකලපුව පොලිසිය පවසනවා.
මෙලෙස තුවාල ලබා ඇත්තේ, මඩකලපුව පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා බවයි වාර්තාවන්නේ.
මෙම 45 හැවිරිදි සැකකරු පුද්ගලයන් රැසකගෙන් මුදල් ලබාගෙන සැඟව සිටින අතර, ඔහු ඊයේ (11) රාත්රියේ පිල්ලයාර්අඩි ප්රදේශයේ නිවසක සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් ඔහු අත්අඩංගුවට ගැනීමට එම ස්ථානයට ගොස් තිබෙනවා.
එහිදී සැකකරු සාපරාධී බලහත්කාරය පා නිලධාරීන්ට පහරදී, අත්අඩංගුවෙන් මිදී පලායාමට උත්සාහ කර තිබෙන අතර, එහිදී පොලිස් නිලධාරීන් සිද්ධිය පොලිස් ස්ථානයට දැනුම්දීමෙන් අනතුරුව පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.