අප රටේ රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීමේ අභියෝගයක් පවතින බවත් කිසිසේත්ම රාජ්‍ය සේවය කප්පාදු කිරීමට බලාපොරොත්තු නොවන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
නමුත් රාජ්‍ය සේවය පවත්වා ගෙන යාම සඳහා දරන වැය බර පිළිබඳව ගැටලුව තිබෙන බැවින් එක් අධිෂ්ඨානයක සිටිමින් රාජ්‍ය සේවය යම් විධිමත් යාන්ත්රණයකට ගෙන ආ යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කරනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ නාරාහේන්පිට ‘නිල මැදුර’ ගොඩනැගිල්ලේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (20) දිස්ත්‍රික් ලේකම්/දිසාපති සමුළුව අමතමින්.
මෙම කාර්යයන් ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන අධිකාරිය ලෙස සිය උපරිම දායකත්වය ලබා දෙන බවත් මෙම කර්තව්‍ය සාර්ථක වන්නේ රාජ්‍ය නිලධාරීන් ඊට දක්වන දායකත්වය මත බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
ජන වරමේ අපේක්ෂාවන් 80%ක්ම පෙන්වා ඇත්තේ රාජ්‍ය සේවකයන් බැවින් දේශපාලන අධිකාරියේ කාර්යයන්ට සිය කැමැත්ත, අනුමැතිය ලබා දී ඇති බවත් මෙම ද්විත්වය පරස්පර කණ්ඩායම් දෙකක් නොවන සමපාත කණ්ඩායම් දෙකක් බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.
ඒ අනුව දේශපාලන අධිකාරියේ සහ රාජ්‍ය සේවයේ අපේක්ෂාවත් අරමුණත් එකට සමපාත වී තිබෙන බව පසුගිය ජනවරමින් පෙන්නුම් කර ඇති බවත් දෙපාර්ශ්වයම එකඟ වූ කාර්යයක් අප හමුවේ ඇති බවත් ප්‍රකාශ කර තිබෙනවා.
එසේම ජනතාව සම්බන්ධ ව්‍යාපෘතිද යළි සමාලෝචනය කළ යුතු බව ඔහු පෙන්වා දුන්නා.
ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය කඩිනම් කරන බවත්, ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය නව වසරේ ජනවාරි 01 වනදා සිට ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කර තිබුණා.
ජනාධිපතිවරයා තවදුරටත් පවසා සිටියේ අපේ රට නව තලයකට ඔසවා තැබීම වෙනුවෙන් දුප්පත්භාවය තුරන් කිරීම, ඩිජිටල්කරණය, සමාජය ආකල්පමය වශයෙන් පරිවර්තනය කිරීමේ ක්ලීන් ශ්‍රී ලංකා යන ක්ෂේත්‍ර තුන යටතේ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.
එම කාර්යය ඉටු කිරීම සඳහා වැඩ කිරීමේදී යම් නිලධාරිකු අපහසුතාවකට, අයුක්තියකට, අසාධාරණයකට ලක් වන්නේ නම්, තමා එම පුද්ගලයාගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බව අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යම් නිලධාරියකු එම කාර්යයන් කඩාකප්පල් කිරීමට, හිතාමතා අතපසු කිරීමට කටයුතු කරන්නේ නම් එයටද ඒ හා සමානව ක්‍රියාත්මක වන බවද පැවසුවා.