අදානි පොර්ට්ස් සහ ස්පෙෂල් ඉකොනොමික් සෝන් ලිමිටඩ් සමාගම සහ ජෝන් කීල්ස් සමාගම විසින් මෙහෙයවන කොළඹ බටහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතියට , ආයෝජන මණ්ඩලය විසින් ලබා දෙන වසර 25ක ආයතනික ආදායම් බදු විරාමයක් හිමිව ඇති බව ‘The Sunday Times’ වාර්තා කරනවා.
ඒ අනුව 2024 වසර්දී ඩොලර් මිලියන 207ක පමණ බදු ආදායමක් අහිමි වී තිබෙන බවත් එම පුවත්පත වාර්තා කර තිබෙනවා.
එම වාර්තාව පළ කර ඇත්තේ රජයේ මුදල් කාරක සභාවේදී හෙළි වූ කරුණු මත පදනම්වයි.
මෙම ව්‍යාපෘතිය මඟින් ලංකාවට ලැබීමට නියමිත ආදායම් බදු සැලකිය යුතු ලෙස අඩුවීමක් වන අතර කොළඹ වරායට පැමිණීමට නියමිත නැව් ගණනාවක් කොළඹ වරායට අහිමි වීමටත් නියමිතයි.
කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය (පුද්ගලික) සමාගම ශ්‍රී ලංකා වාණිජ බැංකු දෙකකින් ණය ලබා ගෙනද තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය උදෙසා බදු සහන ලබා දී ඇත්තේ උපායමාර්ගික ව්‍යාපෘති සංවර්ධන පනත යටතේයි. එහෙත්, එම ව්‍යාපෘතියෙහි උපායමාර්ගික වැදගත්කම එම පනත යටතේ පැහැදිලිව පෙන්වා දී නැහැ.
ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජෙනරාල් රේණුකා වීරකෝන්ගෙන් මෙම ව්‍යාපෘතියෙන් ලැබෙන වාසිය කුමක්දැයි විමසද්දී කියා ඇත්තේ, මෙම ව්‍යාපෘතිය ඩොලර් මිලියන 350ක ඍජු විදේශ ආයෝජනයක් වන බවත්, ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවට දියුණු කන්ටේනර් ක්‍රේන් ඇතුළු තාක්ෂණික උපාංගවලින් වාසි සැලසෙන බවයි. එමෙන්ම වරායෙන් සිදුවෙන ජාත්‍යන්තර ගනුදෙනුවලදී විදේශ විනිමය ආදායමක් ලැබෙන බව ඇය පෙන්වා දී තිබෙනවා.
පසුගිය වසරේදී අදානි වරාය සහ විශේෂ ආර්ථික කලාප සමාගම කේරළයේ විලින්ජම් වරාය පසුගිය වසරේ ජුලි මාසයේදී විවෘත කරනු ලැබුවා. එම අවස්ථාවේ අදානි වරාය සහ විශේෂ ආර්ථික කලාප සමාගමේ කළමණාකරණ අධ්යක්ෂ කරන් අදානි කියා තිබුණේ, කොළඹ වරායට පැමිණීමට නියමිත විශාල නෞකා ඉන්දියාව දෙසට හරවාගැනීමට බලාපොරොත්තු වන බව.
කෙසේ වෙතත්, රේණුකා වීරකෝන් කියා ඇත්තේ බටහිර පර්යන්තයෙහි සම්පූර්ණ ආයෝජනය ඩොලර් මිලියන 650ක් බවත්, දැනටමත් ඇමෙරිකන් ඩොලර් මිලියන 289ක ආයෝජනයක් මෙරටට පැමිණ ඇති බවත්. ජෝන් කීල්ස් සමාගම 2021 දී කොටස් වෙළඳපොළට දැනුම් දී ඇත්තේ මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ ආයෝජනය ඩොලර් මිලියන 650ක් බව. ජෝන් කීල්ස් සමාගමේ කොටස ඩොලර් මිලියන 70ක් පමණ බවත් දැනුම් දී තියෙනවා. ණයට කොටස් අනුපාතය 70ට 30ක් බවද දැනුම් දී තිබෙනවා.
බදු අහිමිවීම පිළිබඳ විමසූ පසු කියා ඇත්තේ, සමස්ත බදු අහිමිවීම ඩොලර් මිලියන 104.54ක් බවයි. කෙසේ වෙතත් වැඩිදුර විමසීමේදී ඔහු පවසා ඇත්තේ ඔහු ඒ සඳහන් කළේ වසර පහක කාලයක් පුරාවට රේගු බද්ද සහ අනෙකුත් ආනයන බදුවලින් ලබා දෙන නිදහස් කිරීම් පමණක් බවයි. තවත් නිලධාරියෙකු සඳහන් කර තිබුණේ බදු අහිමිවීම ඩොලර් මිලියන 354ක් බව. එහි වත්මන් අගය ඩොලර් මිලියන 103ක් බව. කෙසේ වෙතත්, එහිදී නැවත කරුණු ඉදිරිපත් වීමෙන් පසු නැවත මතයක් ඉදිරිපත් වී තිබුණේ, අහිමිවෙන බදුවල වත්මන් අගය ඩොලර් මිලියන 207ක් බව.
මීට අමතරව කොළඹ වරාය බටහිර පර්යන්තයයේ ලාභාංශවලට වසර 25ක ආදායම් බදු සහන ලබා දී ඇති බවද මහා භාණ්ඩාගාරයේ ලිපිගොනුවල සඳහන් වෙනවා. ඊට අමතරව ආදායම් බදු සහන වසර 20 දක්වා ලබා දී තිබෙනවා. සෙස් බද වසර පහකටත්, රේගු බදු වසර පහකටත් ආදී වශයෙන් බදු සහන මාලාවක් ලබා දී තිබෙනවා.
මෙලෙස ලබා දී ඇති බදු සහන ලබා දී ඇති මෙම ව්‍යාපෘතියෙහි විගණනය කරන ලද වියදම් අනුව 2024 දී ඩොලර් මිලියන 103ක පාඩුවක් සහ 2024 දී ඩොලර් මිලියන 312ක පාඩුවක් ලැබී ඇතැයි වාර්තා කර තිබෙනවා. මෙලෙස පසුගිය අවුරුදු දෙකෙහි පාඩු සටහන් වී ඇත්තේ වරාය තවම ඉදි කරමින් පවතින නිසායි. ඒ අනුව ආදායම් නොලැබෙන නිසායි. මේ වෙනුවෙන් ඩොලර් මිලියන 35ක් හැටන් නැෂනල් බැංකුවෙන් සහ ඩොලර් මිලියන 27ක් සම්පත් බැංකුවෙන් ලබාගෙන තිබෙනවා.