රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ගිනි තැබීමේ සිදුවීමට අදාළව තමන්ව සැකකරුවෙක් ලෙස නම් කර නොමැති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සැකකරුවකු ලෙස නම් කර ඇති බවට පසුගිය දිනවල පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අද (01) ඇඹිලිපිටියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ඔහු පවසා සිටියේ, මේ පිළිබඳව සිදුවීමට අදාළ පොලිස්ථානයෙන් සහ අධිකරණයෙන් විමසීමක් කර, තොරතුරු ලබාගත් අතර එහි දී ද අනාවරණය වූයේ තමන්ව එලෙස සැකකරුවෙක් ලෙස නම් කිරීමක් කර නොමැති බවයි.
“මාධ්‍ය නිදහස අපි පිළිගන්නවා. භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතියත් අපි පිළිගන්නවා. නමුත් බොරු සමාජගත කිරීම පිළිගන්න බෑ.
මාර්තු 27 වෙනිදා දි අයිලන්ඩ් පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කරලා තියෙනවා රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවස ගිනි තැබීමේ සිදුවීමට සහ එම සිදුවීමේ දී ගිනි නිවන හමුදාවට බාධා කිරීමට අදාළව එරංග ගුණසේකරව සැකකරුවෙක් ලෙස නම් කරලා , වරෙන්තු නිකුත් කරලා තියෙනවා කියන එක.
ද අයිලන්ඩ් පුවත්පත වෙනම උසාවියක් දාලද, මේක මටත් වඩා උසාවියට අපහාසයක්.
එතනින් පස්සෙ විවිධ වෙබ් අඩවිවල සහ සමාජ මාධ්‍යයේ මේ පිළිබඳව වාර්තා කරලා තිබුණා. මේ පිළිබඳව එම සිදුවීමට අදාළ පොලිස් ස්ථානය වන කොල්ලුපිටිය පොලිසියෙන් සහ උසාවියෙන් විමසීමක් කළා. එලෙස මාව එම සිදුවීමේ සැකකරුවෙක් ලෙස නම් කිරීම හෝ වරෙන්තු නිකුත් කිරීමක් කරලා නෑ.
තවදුරටත් මේ සාවද්‍ය පුවත සමාජගත වෙනවා නම්, ඒ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා “