ජයන්ත චන්ද්‍රසිරිගේ සිනමාව සෑහෙන අද්භූත සිදුවීම්වලින් පිරිච්ච එකක් කියල ඕනෑ කෙනෙක් දන්නවා. සමහර චරිත දැක්කම අපේ හිතේ තියෙන ගුප්ත හැඟීම් ඇවිස්සෙනවා. ගරිල්ලා මාකටින් එකේ සමහර දර්ශන දැක්කම පිස්සු හැදෙනවා. එක් වෙලාවක ශ්‍රියන්ත මෙන්ඩිස් සහ ජැක්සන් ටීවී එකෙන් කමල් අද්දරආරච්චිට කතාකරන එක එහෙම අවස්ථාවක්. දඬුබස්නාමානය බැලුවාම එහෙම අවස්ථා ගොඩක් තියෙනවා.
ජයන්තගේ සිනමාවේ විශේෂම ලක්ෂණ දෙකක් ලෙස ඒ අධියථාර්තවාදී, අද්භූත ලක්ෂණය සහ විවිධ රංගන ශිල්පීන්ගේ රංගනයට ප්‍රමුඛත්වයක් දීම දකින්න පුළුවන්.
තමන්ගෙ චිත්‍රපටිවල අධියථාර්තවාදී ස්වභාවය ගැන නොවැම්බර් 22 දිවයින පුවත්පතට ජයන්ත චන්ද්‍රසිරි අදහස් දක්වා තිබුණේ මේ විදියට.
‘කෙනෙක් තාත්විකත්වය ඉක්මවූ ආකාරයකිනුත් තම ප්‍රකාශනයට පිවිසෙන්න පුළුවන්. තාත්වික කියන්නේම තත්වය නොඉක්මවූ කියන එකනේ. එසේම කෙනෙක් තත්වය ඉක්මවූ ආකාරයකිනුත් තම ප්‍රකාශනයට පිවිසෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. කෙනෙක් මේ ක්‍රම දෙකම එකවිට අනුගමනය කරන්නත් පුළුවන්. කොයි වෙලාවකවත් මොනව කලාවක් තුළවත් අදහස් වෙන්නේ නෑ, තාත්විකත්වයෙන් පමණයි යථාර්තය ග්‍රහණය කරගන්න පුළුවන් කියලා. තාත්විකත්වය වගේම අධිතාත්විකත්වයත් යථාර්තයට ගමන් කරන එක්තරා මාර්ගයක් පමණයි. ෆැන්ටසියක් කියන්නෙත් එහෙම අධි යථාර්තවත් ප්‍රවේශයකට. දැන් ඇලෙක්සැන්ඩර් ක්ලූග් වගේ දාර්ශනිකයෙක් කියනවා, යථාර්තවාදයේ අරමුණ යථාතත්වය ඉදිරිපත් කිරීම පමණක් නොවේ, එයට විරෝධය පෑමක්ද ඊට අඩංගුයි කියලා.
මා නම් මේ පෙනෙන දේටත් යථාර්තය කියන්නේ නැහැ. මා යථාර්තය කියන්නේ මේ පෙනෙන දෙයෙහි නොපෙනෙන එහි සාරයට. හරයට. කලාකරුවා කරන්නේ මේ සාරය සොයා කිමිදීම. ඒක කැමරාව විතරක් අරන් ගිහිල්ලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හොඳ යකඩ ඉන්නකුයි වීල්බැරෝ එකකුයි අරන් ගිහින් කරන්න පුළුවන් දෙයක්.’
ඊට පස්සේ ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ මොකක්හරි ශානරයක් පාවිච්චි කරලා යථාර්තය හොයන්න කියලා. ශානරය කිව්වේ කොමඩි, ෆැන්ටසි, ත්‍රිලර්, හොරර්, ඇක්ෂන්, ඩ්‍රාමා, රොමෑන්ස් වගේ ඕනෑ ක්‍රමයක් පාවිච්චි කරන්න කියලා. එයා කියන්නේ යථාර්තය කණින්න එකම වළක් හාරගන්න ඕනෑ නැහැ කියල. එයා ඒ එක්කම කියනවා ලංකාවේ එක එක ප්‍රවර්ගවලට හෙවත් ශානරවලට අයිති වැඩ අඩුයි කියල.
ජයන්තගේ අනෙක් වැඩේ තමයි රංගනය. එයාගෙ ෆිල්ම්වල වැඩිපුරම අවධානය යොමු කරන පැත්තක් තමයි ඇක්ටින්. ඒ ගැන ජයන්ත මෙහෙම කියා තිබෙනවා.
‘ඕකේ දෙපැත්තක් තියෙනවා. ඒ කියන්නේ සමහර චිත්‍රපටිකාරයන් වැඩිපුර උත්සාහ කරන්නේ සිනමාත්මක දර්ශන, රූප නිර්මාණය කරන්න. විමුක්ති ජයසුන්දර වගේ කෙනෙක්ගෙ ෆිල්ම්වල වැඩිපුර තියෙන්නේ ඒ වගේ ඒවා. සිනමාව කියන්නේ ඒ විදියෙ රූපමය දර්ශනවලින් කරන වැඩක්නෙ.’
ජයන්ත කියන්නේ ඒ කාලෙ ජැක්සන්, ශ්‍රියන්ත මෙන්ඩිස් සහ කමල් වගේ නොයෙකුත් චරිත එක්ක රංගනය හදාරපු කෙනෙක්. කාලයක් ආචාර්ය නෝබට් ජේ මයර් කියන විද්වතාගේ රූපණ පංතියේ ශිෂ්‍යයෙක් විදියටත් ඔහු හිටියාලු.
හොඳ ඇක්ටින් නැති සිනමාවක් අසාර්ථකයි කියල ජයන්ත කියනවා. එයා කියන්නෙ එහෙම එකක් දියුණු භාෂාවක් නැති පොත්පත් වගේ වැඩක් වෙනවා කියලා. ඒ නිසා ජයන්ත හිතන විදියට රඟපෑම කියන වැඩේ සෙල්ලමට ගන්නෙ නැතිව…. ඒක හොඳ කලාවක් විදියට ප්‍රගුණ කරපු නළුනිළියන් එක්ක තමයි සිනමාවට දුවන්න පුලුවන් වෙන්නෙ.
සමහර ඩිරෙක්ටර්ලාට අනුව ඒක වෙනස්. නිකමට හිතන්න… සත්‍යජිත් මාඉටිපේ රංගනය ගැන අත්දැකීම් නැති නළුවෙක් බොරදිය පොකුණේ ප්‍රධාන චරිතයට ගත්තා. අශෝක හඳගම රඟපෑමේ ලොකු හැදෑරීමක් නැති අලුත් අය ප්‍රධාන චරිතවලට ගන්නවා. ඒත් ජයන්ත හැමවෙලාවෙම කමල්, ජැක්සන්, ශ්‍රියන්ත, යශෝධා වගේ රඟපෑමට දක්ෂ සෙට් එකක් හොයනවා.
ජයන්තගේ සිනමාවේ තවත් විශේෂ අංග ලක්ෂණ ගණනාවක් තිබෙනවා. එකක් ඔහු හැමවිටම විශිෂ්ඨ සංගීතඥයන් සොයායෑම. කෙසේ වෙතත් ජයන්ත ලංකා ඉතිහාසයේ මඟහැර යන්න බැරි විදියේ සිනමා සංස්කෘතියක් ගොඩනැගූ කෙනෙක්.