රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් සිය වරද පිළිගෙන තනතුරෙන් ඉවත් වී ආදර්ශයක් දී ඇති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.
ඒ මහතා මේ අදහස් පලකර සිටියේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ ‘ඉබ්රාහිම් පවුලට’ අයත් වැල්ලම්පිටියේ පිහිටි තඹ කම්හලේ ඊයේ (16) දින නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
වැරදි සිදුවිය හැකි නමුත් ඊට වඩා වරද පිළිගෙන නිහතමානීව ඉවත්වීම වැදගත් වන බවයි විමල් වීරවංශ මහතා පවසන්නේ.
“අපේ රටේ දේශපාලන සංස්කෘතියට මීට පෙර එවැනි ආදර්ශයන් එකතු වී නෑ. ඒ අතින් ලොහාන් රත්වත්තේ මැතිතුමා ඒ වෙච්ච අඩුපාඩු පිළිඅරන් ඒ දරපු තනතුරෙන් ඉවත්වෙලා තියෙනවා” යැයි විමල් වීරවංශ මහතා පවසනවා.