රජය විසින් අනුමත කර ඇති කාබනික පොහොර පමණක් භාවිතා කොට සිය වගාවේ නිෂ්පාදනයේ යම් අඩුවක් පවතින්නේ එම ගොවීන්ට පමණක් වන්දි ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
ඒ, නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහා දළදා වහන්සේ වැද පුදා ගැනීමට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
හරිත කෘෂිකර්මාන්තය ස්ථාපිත කිරීමේ වැඩසටහනේදී සිය අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් නිසි සහයෝගයක් නොලැබුණු බවයි අමාත්‍යවරයා පවසන්නේ.
කෙසේ වෙතත්, පොහොර නොමැතිවීම නිසා සිය අස්වැන්න සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් ඒ සඳහා වන්දි ලබාදිය යුතු බවටත් ගොවීන් චෝදනා කර සිටිනවා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා,
“අපි කාබනික ඝන පොහොර දුන්නා. ජෛව දියර පොහොර දුන්නා. පොටෑසියම් ක්ලොරයිඩ් – නැනෝ නයිට්‍රජන් දුන්නා. මේ පොහොර වර්ග 4ම භාවිත කර තිබිය යුතුයි. ඒ පොහොර භාවිතයෙන් නිෂ්පාදනය අඩුවුනොත් තමයි වන්දි ගෙවන්නේ. ගොවියා කට ඇරන් බලන් හිටියට වන්දි දෙන්න බැහැ.”
“කාබනික වගාවේ හොඳ පැත්ත ගැන කිසිම කෙනෙක් කතා කළේ නැහැ. රජයවත් මේ වෙනුවෙන් කතා කරන්නේ නැහැ. ජනතාවගේ වකුගඩුව නැතිවෙන එක ගැන, රටේ මිනිස්සුන්ට වහදෙන එක ගැන ඇයි අපි කතා කරන්නේ නැත්තේ? හැමෝම පෙනී හිටියේ රසායනික පොහොර සමාගම් වෙනුවෙන්.”