හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිව සිටි සමයේ භාවිතා කළ නිල නිවස ඔහුට ලබාදීමට ගත් කැබිනට් මණ්ඩල තීරණයට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ගොනුකළ පෙත්සම සළකා බැලීමට අවසර ලැබී තිබෙනවා.
ඒ සම්බන්ධ සියලුම ලිපිගොණු වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය අද (15) නියෝග කළා.
මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම සලකා බැලීම මාර්තු 09 වැනිදා කැඳවන ලෙස කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණය අද (15) නියෝග කළා.
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මියගිය අයගේ ඥාතීන් සහ තුවාල ලැබූවන් විසින් තමන්ගෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන නඩු නිෂ්ප්‍රභ කොට තමන්ව සියලු චෝදනාවලින් මුදාහරින ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් එම අභියාචන පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී මෙම පෙත්සම වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින වින්දිතයින්ට නොතීසි නිසි පරිදි ලැබී නොමැති බවට කරුණු අනාවරණයවීම හේතුවෙන් එම පෙත්සම සලකා බැලීම මාර්තු මස 09 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළා.
පෙත්සම ඉදිරිපත් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අධිකරණයට දන්වා ඇත්තේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන මෙන් එම සිද්ධියෙන් මියගිය අයගේ ඥාතීන් හා තුවාල ලැබුවන් විසින් තමන්ට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු 109 ගොනු කර ඇති බවයි.
එම නඩු පවත්වාගෙන යාමට නොහැකි බවත් එම චෝදනාවලින් තමන්ව මුදාහරින ලෙසත් ඉල්ලමින් තම නීතිඥවරු කොළඹ දිසා අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළද එම මූලික විරෝධතා ඉකුත් ජනවාරි 07 වැනිදා දිසා අධිකරණය මගින් ප්‍රතික්ෂේප කළ බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
දිසා අධිකරණය දුන් එම තීරණය නීතියට පටහැනි බවත් එම නිසා කොළඹ දිසා අධිකරණය දුන් තීන්දුව ප්‍රතිශෝධනය කර තමන්ව අදාළ නඩුවලින් මුදාහරින ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉල්ලා සිටිනවා.