‘අප්‍රේල් මාසේ පළවෙනිදා ඉඳලා ලංකාවට පිටරටින් ගේන නිමි ඇඳුම් සඳහා අපි විශේෂ බද්දක් හඳුන්වා දෙන්න බලාපොරොත්තුවෙනවා. ඒකෙන් අදහස් කරන්නේ දේශීය නිමි ඇඳුම් ව්‍යාපාරිකයන් ආරක්ෂා කරගැනීම. තත්ත්වයෙන් බාල නිමි ඇඳුම් ලංකාවට ගෙනඒම සම්පූර්ණයෙන් නතර කිරීමට අවශ්‍ය කටයුතු කරගෙන යනවා. රුපියල් 200 මිල රුපියල් 450 දක්වා විතර වැඩි වෙන බදු ක්‍රමයක් තමයි බලාපොරොත්තු වෙන්නේ.’
මේ දයාසිරි ජයසේකර අමාත්‍යවරයා කියා ඇති කතාවකි. ඔහු මේ දිනවල දේශීය ඇඳුම් වර්ග ප්‍රවර්ධනයට උත්සාහ කරමින් සිටී. ඒ සඳහා ආගමික උත්සවයකදී රදගුරුතුමාට අඳින්නට බතික් ඇඳුම් දී තිබුණි. ජාතික රූපවාහිනී නාළිකාවේ, ආණ්ඩුවේ පුවත්පත්වල බතික්වල අගය කියමින්, බතික් ඇඳුම් අඳින්නැයි යෝජනා කරමින් ඔහු සම්මුඛ සාකච්ඡා පවත්වා තිබුණි.
දේශී්‍ය ඇඳුම් ප්‍රවර්ධනයට ඔහු වැදගත් වැඩ කොටසක් කරමින් සිටින්නේය. එහෙත්, පිටරටින් ඇඳුම් ගෙන්නද්දී බදු ගැසීම දේශීය ඇඳුම් ප්‍රවර්ධනයට උදව්වක් නොවේ. ඒ වෙනුවට දේශීය ඇඳුම් කලාවේ ප්‍රමිතිය බස්සන වැඩක් විය හැක.
මෝඩයාගේ දිනය ලෙස ප්‍රකට අප්‍රේල් 01 වැනිදා සිට පිටරට ඇඳුම්වලට වැඩිපුර බදු ගැසීමෙන් ලෝකයේ විවිධ රටවල නිපදවා ලංකාවට එන ඇඳුම් වර්ගවල මිල ඉහළ යනු ඇත. අප අමතක කළ යුතු නැත. පිටරටින් ඇඳුම් ආනයනය කරමින් ජීවිකාව සොයාගන්නා ලංකාවේ ඇඳුම් ව්‍යාපාරිකයන් සහ සේවකයන් සිටී.
පිටරට ඇඳුම් අඩු මිලට, ප්‍රමිතියට ලංකවාට එන්නේ නම්, අපේ ඇඳුම් නිෂ්පාදකයා ඒ ප්‍රමිතිය සහ ඒ මිල සමඟ තරග කළ යුතුය. අප තරගයට බිය විය යුතු නැත. තරගය බොහෝ විට හොඳ දෙයකි. අපි ලෝකයේ ඇඳුම් සමඟ තරග කරද්දී, අපට අපේ නිෂ්පාදනය එක්කෝ මිලෙන් අඩු කළ යුතුය, නැත්නම් ප්‍රමිතිය වැඩි කළ යුතුය.
අනෙක තත්වයෙන් බාල යැයි කියන්නේ කොටුවේදී, පමුණුවේදී දුප්පත් මිනිසුන් ගන්නා ඇඳුම්ය. තත්වයෙන් බාල යැයි ලේබල් කිරීම පසුපස තව පැත්තක් තිබේ. ඒ බඩු ලාභය. සල්ලි තිබෙනවානම්, ලාබෙට බාල බඩු ගන්නේ නැත. ඇඳුම් වෙළඳපොල කාලයක් තිස්සේ මේ විදියට සැකසී තිබෙන්නේ මිනිසුන්ට ඇති හැටියටය.
පිටරට බඩුවලට බදු ගසා, මිල ඉහළ දැම්මොත් දේශීය ඇඳුම්ද ඒ මිලටම විකුණද්දී ඇඳුම් මිල අඩු වන්නේ නැත. සල්ලි තියෙන මිනිසුන්ට ඇඳුම් කීයක් මිල ගියත් එකය. එහෙත් ලංකාවේ අයට අර මිලට ලංකාවේ නිපදවන ඇඳුම් ගැනීම අසීරුය.
අන්තිමේ පාරිභෝගිකයන්ටත් අසීරුය. පාරිභෝගිකයන් කියන්නේත් ලංකාවේ මිනිස්සුමය. ඇත්තටම ලංකාවේ ඇඳුම් නිෂ්පාදකයන්ට වඩා පාරිභෝගිකයන් වැඩිය. පිටරටින්, ලංකාවෙන් එන ඇඳුම් අතරින් තෝරාගැනීමක් කිරීමේ නිදහස පාරිභෝගිකයන්ට තිබිය යුතුය.
එතකොට ලංකාවේ ඇඳුම් ප්‍රවර්ධනය කිරීමට දයාසිරි ඇමතිවරයා කරන මැදිහත්වීම යහපත්ය. වරද තරගකරුවන්ට බදු ගැසීමය. අප කළ යුත්තේ තරගකරුවන්ට අසාධාරණ නීති දමා තරගය අඩු කිරීම නොවේ. තරගය මැද්දේ උපරිම හොඳ නිෂ්පාදනය කිරීමය.
ඒ නිසා පාරිභෝගිකයාගේ පැත්තෙන් මෝඩයාගේ දවසේ ඉඳන් රට බඩුවලට බදු ගැසීම මෝඩ වැඩකි.