ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිය මවුවරුන්ගේ දින සුභ පැතුම නිකුත් කර තිබෙනවා.
මව්වරුන්ට වෙන ම දිනයක් අවශ්‍ය නොමැති බව තමන් විශ්වාස කරන බවයි එහිදී ඔහු පවසන්නේ.
මව්කිරි කෘත්‍රිමව නිපදවන තාක්ෂණයක් සොයා ගැනීමට තවමත් නොහැකි බව ජනපතිවරයා එම සටහනේ සඳහන් කළත් පියයුරු පිළිකා ඇතුළු පිළිකාවන් වැළඳුනු රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ නොමැතිකමින් ඔවුන් සිටින්නේ දැඩි පීඩාවකින්
එම පිරිස සිය තනපටයන් ජනාධිපති ලේකම් කාර්යාලයේ වැටේ එල්ලා තැබීමෙන් ඊයේ දින සිය විරෝධතාවය පල කර සිටි අතර අදාල ගැටළුව සම්බන්ධ අවධානය ලබා ගැනීමද ඉන් අපේක්ෂා විය.
එම සම්පූර්ණ සුභ පැතුම පහතින්.
“අද මව්වරුන්ගේ දිනයයි. මෙලොවට බිහි වූ පසු පමණක් නො ව, කුස පිළිසිඳ ගත් දා සිට ම සෙනෙහස, දයාව, කරුණාව දක්වමින් තම පණ දෙවෙනි කොට දරුවාගේ ජීවිතය සුරක්ෂිත කරන මව්වරුන්ට වෙන ම දිනයක් අවශ්‍ය නැතැයි මම විශ්වාස කරමි.
විද්‍යාව හා තාක්ෂණය අතිශය දියුණු නූතන ලෝකයේ තවමත් මව්කිරි කෘත්‍රිමව නිපදවන තාක්ෂණයක් සොයා ගැනීමට නො හැකි වීම ම විස්මයකි. ආදරය, මෛත්‍රිය, කරුණාව, දයාව වැනි ගුණාංගවලින් පිරිපුන් ‘මාතෘත්වය’ උතුම් පදවියක් වන්නේ එබැවිනි.
දරුවාගේ පළමු ගුරුවරයා වන්නේ මවයි. මව්ඇකයෙන් මිදී ක්‍රමයෙන් සමාජගත වන දරුවා රටට වැඩදායී, යහපත් පුරවැසියකු බවට පත් කිරීමේ පළමු පියවර තබන්නේ ද මවයි. එහෙයින් මව්වරුන් වන ඔබ සැම ජාතියේ වීරවරියන් යැයි කීම අතිශයෝක්තියක් නො වේ.
එමෙන් ම කිසිදු ලාභ අපේක්ෂාවකින් තොර ව සියලු දුක්ඛදෝමනස්සයන් ඉවසා දරා, දරුවන්ට යහපත් අනාගතයක් උරුම කර දීමට ඔබ දරන අපරිමිත වෙහෙස ගෞරවයෙන් සිහිපත් කරන අතර ම, එම උතුම් අරමුණ සාක්ෂාත් වී, රට දැය සමය සුරකින දේශහිතෛෂී මතු පරපුරක් බිහි කිරීමට ඔබ සැමට හැකි වේවා!යි මම අද දිනයේ ප්‍රාර්ථනා කරමි.”