ශ්‍රී ලංකා අධ්‍යාපන ක්‍රමය තුළ උපකාරක පංති හෙවත් ටියුෂං පන්ති යනු පිළිගත් උපයෝගීතාවයක් බවට පත්ව ඇත.මේ පිළිබඳව මතුවන සමාජ කථිකාවන් කිහිපයකි.එහිදී රජයේ පාර්ශවය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාගවන් මහතා 2020.12.07 දින පාර්ලිමේන්තුව අමතා කළ කථාව වැදගත් වේ.
ඔහුට අනුව, ලංකාවේ පෙර පාසලේ සිට විශ්ව විද්‍යාල උපකුලපති දක්වාම, ආයතන වල සුදුස්සන් තෝරාගැනීමේ ක්‍රම්වේදය අවිද්‍යාත්මකය.අවම වශයෙන් පෙරපාසල් සම්බන්ධයෙන් පවා විද්‍යාත්මක ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවේ.එමෙන්ම, උපකාරක පන්ති ප්‍රමිතිගත කිරීමට ඔහු යෝජනා කරන අතර එසේ නොවීම හේතුවෙන් උපකාරක පන්ති තුළින් දේශපාලන මතවාද , ජාතිවාදය, මිත්‍යා මතවාද සමාජගතවන බවද ඔහු ප්‍රකාශ කළේය.
ලංකාවේ උපකාරක පන්ති ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සමීතියක් ලෙස සැළකෙන වෘත්තීය දේශකවරුන්ගේ සංගමය මාධ්‍ය හමු කිහිපයකදීම අවධාරණය කළේ උපකාරක පන්ති යනු අදවන විට අත්‍යවශ්‍ය සේවාවක් වන බවයි.මේ තුළින් ගුරු සිසු දෙපාර්ශවයට අමතරව ඍජු හා වක්‍ර රැකියා ඉතා විශාල ප්‍රමාණයක් නිර්මාණය වී ඇති බවද ඔවුන් අවධාරණය කරයි. සමාජ ජාලා මාධ්‍ය භාවිත කරන්නන්ද උපකාරක පංති සම්බන්ධව යහපත් හා අයහපත් ප්‍රතිචාර දක්වා තිබෙනු නිරීකණය කළ හැකියි.
උපකාරක පන්ති අවශ්‍යද?,මේවා නියාමනය කළ යුතු ද?,මේවා සම්පූර්ණ වශයෙන් ඉවත් කර දැමිය නොහැකිද?
මෙහිදී උපකාරක පන්තිවල ආරම්භය කෙසේ සිදුවූයේද යන ඓතිහාසික අධ්‍යයන මගහරිමින් වර්තමානයේ මේවා ක්‍රියාත්මක වීමට හා වර්ධනය වීම කෙරෙහි බලපාන හේතු මොනවාද යන්න පෙළගස්වා ගනිමු.
ලංකාවේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය හේතුවෙන් අධ්‍යාපනය තරඟකාරී වී ඇති අතර එම තරඟය ජයගැනීම සඳහා උපකාරක පන්තිවල සහය බෝහෝ දෙනෙක් ලබාගනිති. බොහෝ විට විෂයමාලා හා කෙටි කාලඡේද ආශ්‍රිතව කෙරෙන පාසල් අධ්‍යාපනය නිසා යම් විෂයකට අදාළව දැනුම හා අවබෝධය ලබාදිය හැකිවුවද තරඟකාරීත්වය ජයගැනීම සඳහා අවශ්‍ය පුහුණුව උපක්‍රමිකව ලබාදීමට පාසල් පද්දතිය සමත් නොවේ.එහිදී පාසල් සතු සම්පත්වල සීමිත භාවය හා ඇතැම් ගුරුවරු කුසලතා පූර්ණ නොවීම යන කරුණු හේතු වී ඇත.
උපකාරක පන්තිවල පැවැත්ම කෙරෙහි හේතුවන තවත් සාධකයක් වනුයේ සිසුවාට හිමිවන තෝරා ගැනීමේ හැකියාවයි.තම අවබෝධයට හෝ තෘප්තිමත්භාවයට අනුරූපව උපකාරක පන්ති ආයතනය, ගුරුවරයා හා පන්ති සඳහා සහභාගීවන වේලාව තීරණය කිරීමේ හැකියාව සිසුවාට හා දෙමවිපියන්ට හිමිවී තිබීම නිසා උපකාරක පන්ති කෙරෙහි යම් ආකර්ශනයක් ඇතිවේ.
ලංකාවේ රාජ්‍ය අධ්‍යාපනය ප්‍රාදේශීය වශයෙන් අසමතුළිතය.ජනප්‍රිය පාසල්,සුපිරි පාසල්,ග්‍රාමීය පාසල් හා දුෂ්කර පාසල් වශයෙන් කෙරෙන හඳුනාගැනීම් අනුව ඒ ඒ පාසලට හිමිවන භෞතික හා මානව සම්පත්වල ස්වභාවය විචලනය වේ. නගර කේන්ද්‍ර කරගනිමින් විශාල ප්‍රමාණයේ උපකාරක පන්ති වර්ධනය විමේදී මේම විශමතාවයද බෙහෙවින් බලපායි. උපකාරක පන්ති කර්මාන්තය ලාභය උපදවන ක්ෂේත්‍රයක් වී ඇත. එම නිසා මේ ක්ෂේත්‍රයට පිවිසෙන වෘත්තිකයන් ප්‍රමාණය ශීග්‍ර ලෙස වැඩි විය.උපකාරක පංති ප්‍රභලව ක්‍රියාත්මකවන නගර වටා ප්‍රාදේශීය වශයෙන් උපකාරක පන්ති බිහිවිය. නගරයෙන් ගමට උපකාරක පන්ති සංක්‍රමණය වීමට පටන්ගෙන ඇත .මෙම ගමට ඇදෙන ටියුෂන් රැල්ලේ වාසිය අත්වනුයේ ඒ හා සම්බන්ධ වෘත්තිකයන්ට පමණක් නොව රාජ්‍ය අධ්‍යාපනයේ අසමතුළිතභාවය නිසා නොසළකා හැරෙන සිසුන්ටද මෙය විශාල වාසියක් වී ඇත.ඒ අර්ථයෙන් බලන විට උපකාරක පන්ති යනු අධ්‍යාපනයේ අසමතුළිත බව සමහන් කිරීම සඳහා ක්‍රියාත්මකවන රාජ්‍ය පහසුකම් මත නොරඳන යාන්ත්‍රණයක් බවට පත්ව ඇත.
ලංකාවේ පාසල් පද්දතිය තුළ හා රජය මගින් ලබාදෙන උසස් අධ්‍යාපන අවස්ථාවල තිබෙන සීමිත බව හේතුවෙන් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ යන කඩ ඉම් වලදී දෙවනවර හා තුන්වන වර විභාගවලට යොමුවන ඉතා විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින අතර ඔවුන්ගේ අධ්‍යාපනය අදවන විට සම්පූර්ණ වශයෙන්ම උපකාරක පංති හා ස්වඅධ්‍යයනය මත රඳාපවතින්නේය.
මේවන විට විශ්ව විද්‍යාලවලින් පිටවන උපාධි ධාරීන්ගෙන් සැළකිය යුතු ප්‍රමාණයක් රැකියාව ලෙස උපකාරක පන්ති ක්ෂේත්‍රයට අවතීර්ණ වනුයේ විකල්ප රැකියා අවස්ථා නොමැති නිසාය.එමෙන්ම පාසල් පද්දතිය තුළ ඉගැන් වීම කරන ගුරුවරුන්ගෙන්ද සැළකිය යුතු ප්‍රමාණයක් මෙම ක්ෂේත්‍රයට අවතීර්ණ වෙමින් පවතී. රාජ්‍ය ගුරු සේවයේ වැටුප් හා දීමනා තම පවුල් ඒකක නඩත්තු කිරීමට තරම් ප්‍රමාණවත් නොවන බව උපකාරක පන්ති ක්ෂේත්‍රයට සම්බන්ධවන රජයේ ගුරුවරුන් පෙන්වාදෙයි.
උපකාරක පන්තිවල පැවැත්ම සඳහා අවශ්‍ය සමාජ කොන්දේසි නිර්මාණය වී තිබෙනුයේ මේ ආකාරයටය.
උපකාරක පන්ති සම්බන්ධයෙන් ඉදිරිපත්වන විවේචනද ගණනාවකි.මින් ඇතැම් ඒවා හේතු සහිත විවේචනයන්ය.මෙම පන්තිවල පැවැත්ම දරුවාගේ පාසල් අධ්‍යාපනයට අභියෝගයක් වන බවත් පාසල් නොපැමිණ උපකාරක පන්ති මත රඳා පැවතීම නිසා පාසල මගින් කෙරෙන පෞරුෂ වර්ධනය අඩාල වන බවත් එවැනි එක් විවේචනයකි.උසස් පෙළ පන්තිවල දරුවන් සම්බන්ධයෙන් මෙම තත්වය ප්‍රභලව දැකිය හැකියි.එමෙන්ම උපකාරක පන්තිවල කාලය අවිද්‍යාත්මක ලෙස විශාල වීම හේතුවෙන් සිසුන්ගේ විවෙකය හා නිදහස අහිමි වේ. ඔවුන්ගේ ශාරීරික ක්‍රියාකාරකම් අවම වී සෞඛ්‍ය ගැටළු මතුවීමේ අවධානමක්ද ඇත.එමෙන්ම උපකාරක පන්ති ගුරුවරු නෛතිකව බැඳී සිටින වෘත්තීය ප්‍රතිපත්ති නොමැති වීම හේතුවෙන් ඇතිවන ගැටළුද හඳුනාගත හැක.
මේ කවරතත්වයක් යටතේ වුවද උපකාරක පන්තිවල පැවැත්ම අභියෝගයට ලක් නොවන්නේය.සමස්තයක් ලෙස නොගෙන එක් එක් පන්තියෙහි පැවැත්ම තහවුරු වනුයේ කෙසේද යන්න විමසිය හැක.නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිවලට අනුකූල නොවූවද පෞද්ගලික අධ්‍යාපන අයතන නිසා අධ්‍යාපනය යනු ලාභය ජනනය කළ හැකි නිෂ්පාදිතයක් බවට පත්ව ඇත.එනිසාම එක් එක් උපකාරක පන්තියේ පැවැත්ම තීරණය වීම එම නිෂ්පාදිතයේ ඇති ගුණාත්මක භාවය,ප්‍රචාරණයේ උපක්‍රමිකබව හා පාරිභෝගික තෘප්තිමත් භාවය වැනි සාධක මත රඳා පවතින්නේය.
සමාජය තුළ ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වූ උපකාරක පන්ති ක්ෂේත්‍රය රජයේ මැදිහත්වීම මත හකුලා දැමීමට හැකියාවක් නැතිද?
ඒ සඳහා රජය විසින් ලඟාකර ගතයුතු ජයග්‍රහණ කිහිපයක්ම ඇත.රාජ්‍ය අධ්‍යාපනයේ විෂමතා ඉවත් කිරීමට හා විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයට විකල්ප ඉදිරිපත් කිරීමට රජයට හැකි විය යුතුය. පෞද්ගලික උපකාරක පන්ති ක්ෂේත්‍රයට නොදෙවෙනි ලෙස රාජ්‍ය අධ්‍යාපනයේ මානව හා භෞතික සම්පත්වල ගුණාත්මකභාවය ඉහළ නැංවිය යුතුය. උසස් අධ්‍යාපන අවස්ථා සඳහා තෝරා නොගැනෙන ප්‍රමාණය අතිශයින් අවම කිරීමටද,ගුරු වැටුප් සැළකිය යුතු ලෙස ඉහළ නැංවීමටද,උපාධිධාරීන් සඳහා විකල්ප රැකියා අවස්ථා නිර්මාණය කිරීමටද රජය සමත් විය යුතුය.
මෙම අභියෝගාත්මක ගැටළු සඳහා විද්‍යාත්මක විසඳුම් හඳුන්වාදීමට මෙන්ම රටේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය කෙරෙහි හේතුවන ජාතික ප්‍රතිපත්තියක් පවා නිර්මාණය කිරීමට පැවති හා පවතින රජයන්ට හැකි වී නැත.එවැනි තත්වයක් තුළ උපකාරක පන්ති යනු ගැටළු ගණනාවක් සඳහා වන අඩුපාඩු සහිත විසඳුමක් ලෙස සැළකීමට සිදුවනු ඇත.එබැවින් රජයට සිදුවනුයේ උපකාරක පංති සමාජ උපයෝගීතාවයක් ලෙස පිළිගෙන ඒවා විධිමත් කිරීම සඳහා අවශ්‍ය පියවර සොයා සොයා ක්‍රියාවට නැංවීමය.
- ගිෂාන් මල්ලිකාආරච්චි.