මන්නාරම් බොක්ක සහ පෝක් සමුද්‍ර සන්ධිය සම්බන්ධ කරමින් ශ්‍රී ලංකාව වටා නොගොස් ඉන්දීය අර්ධද්වීපය වටා අඛණ්ඩව යාත්‍රා කළ හැකි මාර්ගයක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන සේතුසමුද්‍රම් නාවුක මාර්ග ව්‍යාපෘතිය නැවත පණ ගැන්වීමට කිරීමට තමිල්නාඩු සභාව ඊයේ ඒකමතිකව යෝජනාවක් සම්මත කරන ලදි.
සභාවේ ඒකමතිකව සම්මත වූ යෝජනාවට ඒ.අයි.ඒ.ඩී.එම්.කේ සහ භාරතීය ජනතා පක්ෂ ඇතුළු සියලුම පක්ෂ සහාය දැක්වූහ.
19 වැනි සියවසේදී එවකට බ්‍රිතාන්‍ය පාලන තන්ත්‍රය විසින් මුලින් යෝජනා කරන ලද මෙම ව්‍යාපෘතිය, රාමායණයට අනුව ඉන්දියාව හා ශ්‍රී ලංකාව සම්බන්ධ කරන පාලමක් යැයි සැලකෙන රාම් සේතු හෙවත් ආදම්ගේ පාලමට හානි කරනු ඇතැයි යන බිය නිසා මතභේදයකට තුඩු දුන්නේය. ව්‍යාපෘතියට අදාළ නඩුවක් දැනට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වෙමින් පවතියි.
එවකට තමිල්නාඩු මහ ඇමති එම් කරුණානිධි ද රාම් දෙවියන් දෙරට අතර පාලමක් තැනීමට “ඉංජිනේරුවෙක්” දැයි විමසමින් එම ඇවිලෙන ගින්නට පිදුරු එකතු කර තිබුණි.
1998 දී එවකට ඒ බී වජ්පායි රජය විසින් අවසර ලබා දුන් ව්‍යාපෘතියේ වැඩ කටයුතු 2005 ජූලි 2 වන දින එවකට මන්මෝහන් සිං රජය විසින් රුපියල් කෝටි 2,427 ක් වෙන් කිරීමෙන් පසු ආරම්භ කරන ලදී. කෙසේ වෙතත්, භාරතීය ජනතා පක්ෂය ඇතුළු විවිධ පාර්ශ්වවලින් එල්ල වූ විරෝධය හේතුවෙන් 2007 දී අත්හිටුවන ලද මෙම ව්‍යාපෘතිය මේ වනතෙක් නැවත ක්‍රියාත්මක නොවීය.
“තමිල්නාඩුවේ සහ ඉන්දියාවේ ආර්ථික සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා අත්‍යවශ්‍ය” ව්‍යාපෘතියක් ලෙස මෙය හැඳින්වූ ස්ටාලින්, මෙම ව්‍යාපෘතිය නැවැත්වීමට දායක වීම සම්බන්ධයෙන් භාරතීය ජනතා පක්ෂයට චෝදනා කරන ලදි.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නාවුක ඇළක් නිර්මාණය කිරීම ව්‍යාපෘතියේ අරමුණයි. මෙය ඉන්දියාවේ නැගෙනහිර සහ බටහිර වෙරළ තීරයන් අතර යාත්‍රා කිරීමේ කාලය අඩු කිරීමට පමණක් නොව, නැව් ශ්‍රී ලංකාව වටා ගමන් කිරීම වැළැක්වීමට ද හේතු වේ. එමෙන්ම, ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් රටවල වරායන් වෙත ඉන්දීය භාණ්ඩ ප්‍රතිනැව්ගත කිරීම වැළැක්වීමට ද ඉන්දියාව මෙම ඇල භාවිතා කිරීමට අපේක්ෂා කරයි.
භාරතීය ජනතා පක්ෂ නායක නයනාර් නාගේන්ද්‍රන් මෙම යෝජනාවට සහය පළ කළ අතර, මෙම ව්‍යාපෘතිය කිසිඳු ආකාරයකින් රාම් සේතු ස්වාභාවික පාලමට බලපෑමක් නොවන අයුරින් ක්‍රියාත්මක කළ යුතු බව පැවසීය. කෙසේ නමුත්, රාම් දෙවියන් මනඃකල්පිත චරිතයක් බවත්, ඔහුගේ පැවැත්ම පෙන්වීමට කිසිදු සාක්ෂියක් නොමැති බවත් පවසමින්, ඒඅයිඩීඑම්කේ සභික පොල්ලචි වී. ජයරාමන් මෙහිදී එම ප්‍රකාශයට විරෝධය පළ කළේය.