25 C
Colombo
Wednesday, January 15, 2025

මල්වතු නායක හිමියන් ලෙස පෙනී සිටිමින් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ පුද්ගලයෙක් අත්ඩංගුවට

- Advertisement -

දුරකථන ඇමතුම් ඔස්සේ මල්වතු මහා නායක හිමියන් ලෙස පෙනී සිට පිටරට රැකියාවලට යවන බව පවසමින් ලක්ෂ ගණනින් මුදල් වංචාවන් සිදු කළ පුද්ගලයකු නුවරඑළිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු පසුගිය 28 වනදා නුවරඑළිය වැඩබලන මහේස්ත්‍රාත් කේ.ඩී. විජේවික්‍රම වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබුවා.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 51 හැවිරිදි සිරිමල් ප්‍රියන්ත නමැති පුද්ගලයෙක්

සැකකරු නුවරඑළිය සඳතැන්න ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් වංචනික ලෙස රුපියල් එක් ලක්ෂ තිස් හත් දහසක මුදලක් ලබා ගත් බවට ලද පැමිණිල්ලක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළා.  

නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය පැවැසුවේ සැකකරු ජාතික පුවත්පත්වල පළවන ඉඩම් හා දේපල විකිණීම් සම්බන්ධ දැන්වීම් අනුසාරයෙන් ධනවත් පුද්ගලයන්ගේ දුරකථන අංකවලට ඇමතුම් ලබා ගනිමින් තෙරුවන් සරණ පතා ඇමතුම ආරම්භ කර ඇති බවයි.

සැකකරු තමන් මල්වතු මහ නායක ස්වාමීන් වහන්සේ බවත් තමන්ගේ සහෝදර සහෝදරියන් ඕස්ට්‍රේලියාවේ පදිංචි අතර තම මිතුරකු ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස්වරයකු ලෙස පවසා තමාගේ සහෝදරයාට ඉඩමක් මිල දී ගැනීමට අවශ්‍ය බව පවසමින් සූක්ෂම ලෙස එම පුද්ගලයන් සමඟ හිතවත්කමක් ගොඩනඟා ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

නුවරඑළිය පොලිසිය සඳහන් කළේ ඉන් අනතුරුව එම හිතවත්කම මත ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් කිසිදු මුදලක් අය නොකර ඕස්ට්‍රේලියාවට රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා කඩිනමින් පිටත් කරවන බවට පවසා මෙම මුදල් වංචාව සිදු කර ඇති බවයි.

එහිදී සැකකරු විසින් ලියාපදිංචි ගාස්තු වශයෙන් රුපියල් එක් ලක්ෂ තිස් දාහක මුදලක් පමණක් ගෙවිය යුතු බව සඳහන් කරමින් එම මුදල් ඔහු සතු බැංකු ගිණුම්වලට ගෙන්වා ගෙන මහා පරිමාණයේ මුදල් වංචාවන් රාශියක් කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

බොහෝ අවස්ථාවලදී ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ලෙස ද පෙනී සිට දුරකථන ඇමතුම්වලට පිළිතුරු ලබා දීමටද මෙම පුද්ගලයාම කටයුතු කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පැවසුවා.

එලෙස මුදල් ගෙන්වා ගැනීමේදී සැකකරු විසින් ජාතික හැඳුනුම්පත්ද ගෙන්වාගෙන ඇති අතර එලෙස ගෙන්වාගන්නා ජාතික හැඳුනුම්පත්වල පිටපත් ලබා දී තවත් පුද්ගලයන් රැවටීම සඳහා සැකකරු සිම් පත් 100ත් 120ත් අතර ප්‍රමාණයක් මිල දී ගෙන ඇති බවද මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

සැක කටයුතු පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී දුරකථන 11ක්, ටැබ් යන්ත්‍රයක්, අන්තර්ජාල සැපයුම් උපකරණ, බැංකු ගිණුම්වලට මුදල් තැන්පත් කළ රිසිට් පත් විශාල ප්‍රමාණයක්, විවිධ නම්වලින් සකස් කරන ලද නිල මුද්‍රා තොගයක්, දුරකථන අංක ලියා ගැනීමට භාවිතා කළ පොත් කිහිපයක්, විවිධ පුද්ගලයන්ගේ නම්වලින් සැකසූ විසිටින් කාඩ් පත් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත්ව තිබෙනවා.

වංචනික ලෙස මුදල් ලබා ලබාගැනීම වෙනුවෙන් ව්‍යාජ ලෙස සැකසූ ජාතික හැඳුනුම්පත් කිහිපයක් භාවිතා කරමින් බැංකු ගිණුම් 15කට ආසන්න ප්‍රමාණයක් මෙම පුද්ගලයා විසින් පවත්වාගෙන ගොස් ඇති අතර, ව්‍යාජ ජාතික හැඳුනුම්පත් භාවිතා කරමින් විවාහයන් කිහිපයක්ද සිදු කර ඇති අතර එම විවාහයන්ගෙන් දරුවන්ද සිටින බවත් වංචනික ලෙස උපයන මුදලින් බහු විවාහයන් සිදුකර ගත් කාන්තාවන් සමඟ සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇති බවට තොරතුරු තහවුරු වී ඇති බව නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසනවා.

පොලිස් විමර්ශනවලදී තවදුරටත් අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයාට විරුද්ධව ව්‍යාජ ලෙස සකස් කරන ලද ජාතික හැඳුනුම්පත්වල නම්ගම්වලට අනුව මතුගම, මහර, පන්නිල, කොළඹ කොටුව, කෑගල්ල, දඹුල්ල , නුවරඑළිය, ගාල්ල බලපිටිය, අනුරාධපුරය, නුගේගොඩ, කළුතර, අලුත්කඩේ යන අධිකරණවල මුදල් වංචා කිරීම්, අධිකරණය නොමග යැවීම, බහු විවාහයක් සිදු කිරීම, වෙනත් පුද්ගලයන් ලෙස පෙනී සිටීම හා කූඨ ලේඛන සැකසීම ඇතුළු වැරදි රාශියක් සම්බන්ධව නඩු විශාල ප්‍රමාණයක් පවතින බවයි.

නුවරඑළිය ප්‍රධාන පොලිස් මූලස්ථානය හා අපරාධ විමර්ශන අංශය එක්ව  සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

කොළඹට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා. ඒ අනුව හෙට (16) සවස 6:00 සිට අනිද්දා...

අනුර ෂී ජින් පිං හමුව අද

චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(15) එරට ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවනු ඇති. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපතිවරයා පිළිගැනීමේ...

කුඩා පරිමාණයේ සහල් මෝල් 160ක්

කුඩා පරිමාණයේ සහල් මෝල් 160ක් ස්ථාපිත කිරීමට වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා සඳහන් කළේ, දැනටමත්...

POPULAR ARTICLES

කොළඹට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා. ඒ අනුව හෙට (16) සවස 6:00 සිට අනිද්දා...

අනුර ෂී ජින් පිං හමුව අද

චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(15) එරට ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවනු ඇති. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපතිවරයා පිළිගැනීමේ...

දකුණු කොරියාවේ හිටපු ජනපති යූන් සොක් යෝල් අත්අඩංගුවට

දෝෂාභියෝගයකින් ධුරයෙන් පහ කළ දකුණු කොරියානු හිටපු ජනපති යූන් සොක් යෝල් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බී. බී.සි පුවත් සේවය වාර්තා කළේ, යූන් සොක් යෝල් රැගත් රථ...