කොවිඩ් 19 ආසාදිතයින් හඳුනාගැනීම සඳහා වන ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ( රැපිඩ් ටෙස්ට්) තවමත් රාජ්‍ය අංශයෙන් මිල දී ගෙන නොමැති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන නොවැම්බර් 13 වන දින පාර්ලිමේන්තුවේදී පැවසීය.
ශ්‍රි ලංකන් ගුවන් සේවය හරහා ජෝර්ජ් ස්ටුවට් සමාගම එම කට්ටල මෙරටට ගෙන්වීමේ ක්‍රියාවලියේදී, ටෙන්ඩර් කැඳවීමේ දී කිසිදු අක්‍රමිකතාවයක් සිදුව නොමැති බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බවත් චන්න ජයසුමන මහතා කියා සිටියේය.
“වෛද්‍ය සැපයුම් අංශය මගින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට දැනුම් දීලා හදිසි මිලදී ගැනීමක් හැටියට. ඒ අනුව 2020.10.29 ටෙන්ඩර් කැඳවීමක් සිදුවෙනවා. ඒක හොරෙන් කරපු දෙයක් නෙමෙයි. ඖෂධ හා වෛද්‍ය පහසුකම් සැපයුම්කරුවන්ගේ සංගමයේ සියලුදෙනාට ඒක දැනුම් දෙනවා. ඒ වගේම SPC එකේ වෙබ් අඩවියේ මේක දානවා. ඒ දාපු නිසා තමයි මේ නිෂ්පාදන වර්ග 32ක් සමාගම් 29කට අයිති 32ක් ලන්සු තබලා තියෙනවා. ඒ ටෙන්ඩරය විවෘත කිරීම සිදුවුණේ නොවැම්බර් මාසයේ 2 වන දා හවස 2.30ට. රටේ තිබුණ තත්ත්වය මත හදිසි ටෙන්ඩර් කැඳවීමක් තමයි සිදුකළේ. මොකද සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටියේ ගියා නම් සති ගණනාවක් ගත වෙන නිසා. මීට පෙරත් මේ ආකාරයේ මිල දී ගැනීම් සිදුකර තිබෙනවා. ඒ ටෙන්ඩරය විවෘත කරාට පස්සේ තාක්ෂණික ඇගයිම් කමිටුවට යවනවා. ඒ තාක්ෂණික ඇගයීම මේ වෙන තෙක් සිදුවෙනවා. ඒක ඉවර නෑ. ටෙන්ටර් එක තවමත් කිසිදු ආයතනයකට රාජ්‍ය අංශයෙන් ලබා දී නෑ. එකදු රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් කට්ටලයක් මේ වෙන තෙක් රාජ්‍ය අංශයෙන් මිලදී ගෙන නෑ. සත පහක් හෝ ඒ සඳහා වියදම් කරලා නෑ.“