ඉන්ධන දහනය අවම කරගැනීමේ මාර්ගයක් විදියට ලෝකය ස්වභාවික ශක්තීන් වෙත නැඹුරු වීම මේ වෙද්දි වේගයෙන් සිදුවන්නක්. එහි ප‍්‍රතිඵලයක් විදියට තමයි ඉන්ධන වෙනුවට බැටරිවලින් ක‍්‍රියාත්මක කළ හැකි වාහන නිෂ්පාදනය වෙන්නේ. ලොව පුරා මහා පරිමාණ වශයෙන් වාහන නිෂ්පාදනය කරන ආයතනවලින් නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කර ඇති දත්තවලට අනුව 2030 වසර වනවිට ලෝකයේ මෝටර් රථ අලෙවියෙන් 60 % ක් විද්‍යුත් වාහන බවට පත් වෙනවා. ඒ කියන්නේ ඉන්ධන දහනය අවම වෙනවා විතරක් නෙවෙයි වායු ගෝලය දූෂණය වීම සැලකිය යුතු මට්ටමකින් අවම වෙනවා කියලා එකී සමාගම් කියනවා.
ඇමෙරිකානු බහු ජාතික සමාගමක් වුණු ටෙස්ලා වාහන නිෂ්පාදන සමාගම ඔවුන්ගේ ටෙස්ලා මොඞ්ල් එස් කියන අතිශය සුඛෝපභෝගී මෝටර් රථය මුලින්ම හඳුන්වා දුන්නේ 2012 අවුරුද්දෙ. නමුත් හතර පස් වතාවක්ම ඔවුන් එහි යම් යම් වෙනස්කම් සිදු කරනු ලැබුවා. එසේ වෙනස්කම් සහිතව 2022 අවුරුද්දේ වෙළඳ පොළට හඳුන්වා දුන් ටෙස්ලා මොඩ්ල් එස් මෝටර් රථය සම්පූර්ණයෙන්ම ආරෝපණය කළ හැකි ලිතියම් බැටරියකින් ක‍්‍රියා කරන වාහනයක්. ඒ බැටරිය නිෂ්පාදනය කරන්න ලිතියම් කිලෝ 12 ක් යොදාගෙන තිබෙනවා. මේ බැටරිය සැහැල්ලූයි වගේම මෝටර් රථයත් ඉතාම කාර්යක්ෂමයි. මේ විදියේ කාර්යක්ෂමතාවක් සහිත විද්‍යුත් මෝටර් රථයක බැටරියක් නිෂ්පාදනය කරන්න ලිතියම් කිලෝ 12 ක් 15 ක් විතර ඕන වෙනවා.
මෝටර් රථවලට විතරක් නෙවෙයි, ජංගම දුරකතන, පරිගණක, විදුලි උපකරණ සහ ගුවන් යානාවලටත් ලිතියම් ලෝහය විශාල වශයෙන් යොදා ගන්නවා. හේතුව තමයි ලෝකයේ තිබෙන බරින් අඩුම ලෝහය ලිතියම් වීම.
ලිතියම් වැඩි වශයෙන්ම පවතින රටවල් හතරක් මේ වෙද්දි හඳුනාගෙන තිබෙනවා. ඒ තමයි පේරු, චිලී, ආජන්ටිනාව සහ බොලිවියාව. මුලූ ලෝකයේම තිබෙන ලිතියම් නිධිවලින් සියයට 75 ක් පමණ පවතින්නේ මේ රටවල් හතර අතරයි. ලිතියම් කියන්නේ කැණීම් මඟින් ලබාගෙන නිස්සාරණය කළ යුතු ලෝහයක්. ලිතියම් නිස්සාරණය සහ පිරිපහදු කරන විට පාරිසරික සහ සෞඛ්‍ය බලපෑම් විශාල වශයෙන් ඇති වෙනවා. ජෛව විවිධත්වයට එය හානියක්. ඉන් වාතය දූෂණය වෙනවා. ඒ වගේම ජල පෝෂක සිඳී යාමේ අවදානමක් පවතිනවා. බහුලව කාබන් විමෝචනය වීමත් එහි බලපෑමක්. කාබන් විමෝචනය වෙනවා කියන්නෙම පාරිසරික උෂ්ණත්වය ඉහල යාම සහ ශ්වසන අපහසුතා ඇතිවීම බව නැවත කිවයුතු නැහැ.
තත්වය මෙසේ තිබියදීත් ලිතියම් නිධි හොයාගෙන මේ රටවල්වලට ඇදී එන මහා පරිමාණ සමාගම් නිසාම මේ රටවලට සිදුවෙලා තිබෙන හානිය ගැන නම් වාර්තා වෙන්නේ ඉතාම අඩුවෙන්.
ජර්මන් ජාතික ඡායාරූප ශිල්පියෙකු වූ ටොම් හේගන් ලිතියම් නිධි සහිත ප‍්‍රදේශවල ගුවන් සංචාරයක නිරත වුණා. මෙකී ප‍්‍රදේශවල ලබාගත් ගුවන් ඡායාරූප විශාල වර්ණවත් පොකුණු ඔහුට දකින්න ලැබුණා. ලිතියම් නිස්සාරණ ප‍්‍රදේශවල මේ වගේ විචිත්‍ර වර්ණ ඇතිවීමට හේතුව ලෙස ඔහු මෙහෙම කියනවා.
“ඒවා ඇති වෙන්නේ ලිතියම් කාබනේට්වල විවිධ සාන්ද්‍රණ හේතුවෙන්. ඒවා වර්ණවත් රෝස පැහැයේ සිට නිල්, කොළ පැහැයන් දක්වා විචිත‍්‍රයි. හැබැයි මේ දකින විචිත‍්‍ර බව පරිසරයට සහ ජීවීන්ට හිතකාමී නැහැ. විනාඩියක් විනාඩියක් පාසා ඒවායින් පිටවන මිලියන ගණනක් වන කාබන් අංශු නිසා මිනිස්සු විතරක් නෙවෙයි සතුන් පවා කෙටිකාලීන ශ්වසන ආබාධවලට ලක් වෙනවා. නමුත් කිසිම කෙනෙක් ඒ වෙනුවෙන් කතා කරන්නෙ නැහැ. ඒ වෙනුවෙන් කතා කිරීමෙන් පසුම්බියට අවාසියක් වෙන්න පුලූවන්.”
ලිතියම් කියන්නේ පුනර්ජනනීය බල ශක්තිය ලබා ගත හැකි පුනර්ජනනීය නොවන ඛනිජයක්. සමහර විට ලෝකයේ ඊළඟ ඉන්ධනය ලිතියම් බවට පත්විය හැකි බවට කිසිම සැකයක් නැහැ” කියලා හේගන් වැඩිදුරටත් පවසනවා.