මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමට එහි ප්රධානීන් දක්වන අඩු සැලකිල්ල පිළිබඳව ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ අප්රසාදය පළ කර තිබෙනවා.
පසුගිය 2020 වසරේ ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව එම කාරක සභාව සැලකිල්ලට ගත් අවස්ථාවේදී මේ පිළිබඳ කරුණු අනාවරණය වුණා.
එම කාරක සභාව එහි සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 10 වැනිදා රැස් වී තිබුණා.
පද්ධතිය ඩිජිටල්කරණයට ලක් කිරීම සඳහා ක්රියා කිරීමේදී මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) සහ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ඒ සඳහා දක්වන අඩු සැලකිල්ල පිළිබඳව කාරක සභාව ප්රශ්න කරනු ලැබුවා.
පාර්ලිමේන්තුව විසින් දෙන ලද නියෝග ක්රියාත්මක කිරීමට අපොහොසත්වීම උත්තරීතර සභාවට අගෞරවයක් බවත්, පද්ධතිය භාවිත කිරීමේදී මානව මැදිහත්වීම් අවම කළ යුතු බවත් කාරක සභාව ප්රකාශ කළා.
ඩිජිටල්කරණයට ලක් කිරීම පද්ධතියේ එක් කණ්ඩායමක් හේතුවෙන් අභියෝගකට ලක්ව ඇති බවත් මෙලෙස එක් කණ්ඩායමකට ඉඩ දීමෙන් සිදුවන්නේ පාරිභෝගිකයා මත බර පැටවීම පමණක් බවත් කාරක සභාව පෙන්වා දුන්නා.
මෙම තත්ත්වය නිවැරදි කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් මීට වඩා දැඩිව ක්රියාමාර්ග ගත යුතු බවද කාරක සභාව අවධාරණය කර තිබෙනවා.