සියයට සියයක් ශ්‍රී ලාංකීය කුරුදුවලින් නිෂ්පාදනය කළ Lion Heart ලෙස නම් කර ඇති ආයුර්වේද ධූමපාන සමන්ත පුංචිහේවා නම් නිපැයුම්කරුවෙකු විසින් නිපදවා තිබෙනවා.
මෙරට අමුද්‍රව්‍ය මත පදනම් වූ මේ ධූමපාන තදින් දුම්පානයට ඇබ්බැහි වූ අයෙකුට ඉන් මිදිය හැකි ආදේශයක් බව එම සිගරට්ටුව ජනගත කිරීම සදහා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී අද (17) පැවති උත්සවයට සහභාගී වෙමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.
බහුජාතික සමාගම්වල අනුදැනුම හා මෙහෙයවීම මත සමහර රජයේ ආයතන මේ නව නිපැයුමට “බාල්දි පෙරළීමට” බලා සිටින බව පවසන අමාත්‍යවරයා අවධාරණය කළේ නීති පොතේ කුමන වගන්ති පැවතියද නව නිෂ්පාදනකරුවෙකගේ නිෂ්පාදන ඉදිරියට ගෙන යාමට කර්මාන්ත ඇමැතිවරයා ලෙස තමන් කැප වන බව යි.
ලංකාවේ නීති පද්ධතිය සකස් වී ඇත්තේ නව නිපයුම්කරුවන් ඉදිරියට ගෙන යාමට නොව හිරේ දැමීමට නිසා නීතිය වෙනස් කොට නව නිපැයුම්කරුවන් දෙස සාධාරණව බැලිය යුතු බව ද විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සදහන් කළා.