කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පදිංචිව සිටි තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ නඩුවෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ නිදහස් කිරීමට නීතිපතිවරයා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අතුරුදන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු එම කොමිසමේ සභාපතිවරයා වෙත යොමු කර ඇති මේ පැමිණිල්ල මගින් සඳහන් කර ඇත්තේ නඩු විභාගයක් අවසන්වීමට පෙර හදිසියේ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩගේ අධිචෝදනා ඉවත් කිරීමට නීතිපති කටයුතු කිරීම කිසියම් වරප්‍රසාදයක් හෝ ලාභයක් අපේක්ෂාවෙන් කරන ලද්දක් බවට සැක මතුවන බවයි.
2008 – 2009 වකවානුවේ කොළඹ පදිංචි පුද්ගලයන් 11 දෙනෙක් පැහැර ගෙන ගොස් අතුරුදහන් කළ බවට හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු චුදිතයන් 14 දෙනෙකුට එරෙහිව මහාධිකරණයේ නඩු විභාගයක් පැවැත්වේ.
ඉකුත් 4 වැනිදා මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව දන්වා සිටියේ විත්තිකාර හිටපු නාවික හමුදාපතිට එරෙහිව ගොනු කර ඇති අධි චෝදනා ඉවත් කර ගන්නා බවයි.
‘නීතිපති හා නඩුව මෙහෙයවූ රජයේ නීතිඥයා විසින් විත්තිකරුගේ, විත්තියේ නීතිඥයාගේ හෝ කිසියම් දේශපාලන බලාධිකාරියක අයුතු විෂමාචාරි බලපෑමකට හෝ වරප්‍රසාදයකට විත්තිකාර කරන්නාගොඩගේ චෝදනා ඉවත් කර ගැනීමේ නීති විරෝධී උත්සාහයක නිරත බව’ යනුවෙන් අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව අදාළ ලිපියේ ඒ බව සඳහන් කරයි.
මේ අතර අතුරුදහන් කරන ලද තරුණයන් 11 දෙනාගේ මව්පියන් හා ඥාතීන් විසින් ඉකුත් 5 වැනිදා නීතිපති සංජය රාජරත්නම් වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ විත්තිකාර හිටපු නාවික හමුදාපතිට එරෙහි අධි චෝදනා ඉවත් කර නොගන්නා ලෙසයි.