ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා මහතා අතර ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්වුණා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ ඉදිරි සංවර්ධන අභියෝග ජයගැනීමට ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සහාය පිළිබඳව මෙහිදී අජේ බංගා මහතා අදහස් දැක්වූ බවයි.
අධ්‍යාපන, සෞඛ්‍ය, සමාජ ආරක්ෂණය හා ආර්ථික සංවර්ධනය වැනි අංශවල නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මූල්‍ය සහ තාක්ෂණික උපකාර සැපයීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
ආර්ථික ප්‍රතිපත්ති, මූල්‍ය, තරගකාරීත්වය, ආයෝජන, ආයතනික සංවර්ධනය සහ දිළිදුකම පිටුදැකීම ඇතුළු කාර්යයන් සඳහා මේ වනවිට ලෝක බැංකුව ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන අතර ඉදිරියේ දී කෘෂිකාර්මික ක්ෂේත්රයේ ප්‍රවර්ධනය, ජල කළමනාකරණය, ආරක්ෂාව, පාරිසරික ස්ථාවරභාවය, සමාජ සංවර්ධනය, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ඩිජිටල් පරිවර්තනය දක්වා එම සහාය ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කෙරෙන බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේ විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල දිළිදුභාවය පිටුදැකීමට රජය ප්‍රමුඛතාව ලබාදී ඇති බව මෙහිදී සඳහන් කළ බලශක්ති ක්ෂේත්රයේ අයෝජන ඉහළ නැංවීමට අවධානය යොමුව ඇති බවයි.
එමෙන්ම, සංචාරක කර්මාන්තය, නාවුක කර්මාන්තය, රාජ්‍ය ආයතන හා බලශක්ති ක්ෂේත්‍ර ශක්තිමත් කිරීම මගින් රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා පවසා තිබෙනවා.
උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ආර්ථික වර්ධනය සහතික කිරීම, විශේෂයෙන් අධ්‍යාපන, සෞඛ්‍ය හා මානව සම්පත් සංවර්ධනය වැඩිදියුණු කිරීම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී ලෝක බැංකු සභාපතිවරයා සමඟ සාකච්ඡා කර තිබුණා.
මෙම ප්‍රදේශවල ඉහළ යන ශ්‍රම බලකායේ අවශ්‍යතාව සපුරාලීම සඳහා අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.
2025 ජුලි 25 වන දින විවෘත කිරීමට නියමිත දකුණු ආසියානු ඒකාබද්ධ කාර්යාල 20 හි සත්කාරක රටක් ලෙස ශ්‍රී ලංකාව ද තේරි ඇති බව මෙහිදී පවසා සිටි ලෝක බැංකු සභාපතිවරයා, ලෝක බැංකු සමූහය යටතේ පවතින නැවත ගොඩනැඟීම හා සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුව (IBRD),ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA),ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC) සහ බහුපාර්ශ්වික ආයෝජන ඇපකර නියෝජිතායතනය (MIGA) යන ආයතන අතර සම්බන්ධීකරණය එම කාර්යාල අතර සිදුවනු ඇති බවද සඳහන් කළා.
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම යන මහත්වරුද මෙම සාකච්ඡාවට එක්වී සිටියා.