24 C
Colombo
Sunday, November 17, 2024

ගුරුවරියන් දෙදෙනෙකු කළ පහරදීමකින් සිසුවියක් මරුට

- Advertisement -

වෙන්නප්පුවේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියන් දෙදෙනෙකුගේ පහරදීම හේතුවෙන් මාස තුනකට අධික කාලයක් රෝහල්ගතව සිටි සිසුවියක් රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වෙන්නප්පු ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි 16 හැවිරිදි රමේෂා දිනිති නම් සිසුවියක්.

මියගිය දැරියගේ දේහය පිළිබඳව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ, මොළයට රුධිරය වහනය වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිට ඇප මත මුදාහැර සිටි ගුරුවරියන් දෙදෙනා නැවතත් පසුගිය 14 වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළ බව පොලීසිය පවසනවා.

අදාළ දැරිය තවත් සිසුවියක් සමගින් පන්ති කාමරයෙන් පිටතට ගොස් නැවත පැමිණීමට විනාඩි 20කට අධික කාලයක් ගත වූ බවත් ඒ පිළිබඳව විමසීමේදී පරස්පර කතාකීම හේතුවෙන් ඇයට පහරදී අව්වේ දණ ගැස්සවූ බවත් ගුරුවරියන් දෙදෙනා පොලීසිය හමුවේ පවසා තිබුණා.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ වෙන්නප්පුව පොලීසිය ආදළ ගුරුවරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගතකළා.

අනතුරුව 39 හා 57 යන වයස්වල පසුවන සැකකාර ගුරුවරියන් දෙදෙනා අධිකරණය මගින් ශරීර ඇප මත මුදාහැරුණේ පසුගිය සැප්තැම්බර් මස 13 වනදායි.

අදාළ පහරදීම පසුගිය අගෝස්තු මස 9 වනදා සිදුව තිබූ අතර පහරදීම හේතුවෙන් සිසුවිය මූලික ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

එහිදී ඇයගේ හිසට සැත්කමක් සිදුකර ඇති අතර අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇයව කොළඹ ජාතික රෝහල වෙත මාරුකර තිබුණා.

එහි ප්‍රතිකාර ලබමින් සිටින විට පොලිස් නිලධාරීන් තෙවතාවක් සිද්ධිය සම්බන්ධයෙන් සිසුවියගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා රෝහල වෙත ගිය ද එය ව්‍යර්ථව ගොස් තිබුණේ, ඇය දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීම හේතුවෙන්

අනතුරුව දැරියව භෞත චිකිත්සක ප්‍රතිකාර සඳහා රාගම රෝහලට මාරුකර තිබෙනවා.

පොලීසිය පැවසුවේ, සිසුවිය රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය නොවැම්බර් 13වනදා රාත්‍රියේ මියගොස් ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

වෛද්‍යවරුන් 18ක් මෙවර පාර්ලිමේන්තුවේ

මෙවර පාර්ලිමේන්තුවට විවිධ වෘත්තිකයින් තෝරා පත්කර යැවීමට ජනතාව කටයුතු කර තිබෙනවා. මහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන්, නීතීඥයින්, ව්‍යවසායකයින්, සමාජ ක්‍රියාකාරීන් ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක් ඒ අතරට ඇතුළත් වනවා. ඒ...

ලැබුණු බලය අවභාවිතා කරන්න එපා – සජිත්

මහ මැතිවරණයේදී බහුතර ආසන ප්‍රමාණයක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට සුබ පැතුම් එක්කරන බව...

පිපිරීමකින් තරුණයෙක් මරුට

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම්හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි වැදී ගරාජය...

POPULAR ARTICLES