මාතලේ පොලිස් ස්ථානයට අයුතු ලෙස ඇතුළුවීම හා ප්‍රසිද්ධ ස්ථානයක කලහකාරී ලෙස හැසිරීම යන චෝදනාව යටතේ පුද්ගලයින් පස්දෙනෙකුව අද (03) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහන්වර අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් හා මාතලේ වරකාමුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව මාතලේ පොලීසිය පවසනවා.
මාතලේ ජේෂ්ඨ පොලිස් අධිකාරි එස්. එම්. එන් වික්‍රමනායක මහතාගේ උපදෙස් මත මාතලේ පොලිස් ස්ථානාධිපති උපුල් ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් අදාළ සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
තරුණයින් පිරිසක් ඊයේ (02) පෙරවරුවේ මාතලේ නගරය හරහා පෙළපාළියකින් පැමිණ මාතලේ පොලීසිය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබුණා.
එම තරුණයන් පිරිස එඩ්වඩ් ක්‍රීඩාංගනයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී එම ස්ථානයට පැමිණි මාතලේ පොලීසියේ නිලධාරින් කිහිපදෙනෙකු තරුණයින්ව පරික්ෂාවට ලක් කර මත්ද්‍රව්‍ය තිබූ බවට අසත්‍ය චෝදනා නගමින් තරුණයින් දෙදෙනෙකුව අත්අඩංගුවට ගැනීම හේතුවෙන් මෙම පිරිස විරෝධතාවය පැවැත්වූ බව වාර්තා වනවා.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී මාතලේ පොලීසිය පැවසුවේ ලද තොරතුරකට අනුව මෙම ක්‍රීඩකයින් පරික්ෂා කිරීමේදී පුද්ගලයින් දෙදෙනෙකු සන්තකයේ තිබී ගංජා හමු වූ බැවින් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ, අත්අඩංගුවට ගත් ගංජා සන්තකයේ තිබූ පුද්ගලයින් දෙදෙනා හා අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලින් පස්දෙනා මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.