විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා දින වෙන් කරවා ගත් සාමාන්‍ය ජනතාවට පැය ගණනාවක් ඒ සඳහා රැඳී සිටීමට සිදුව ඇති පසුබිමක හිටපු දේශපාලඥයින් කිහිප දෙනෙකුට පූර්ව දින වේලාවල් නොමැතිව පැයකටත් වඩා අඩු කාලයකින් ගමන් බලපත්‍ර නිකුත් කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා දැනට මාස කිහිපයක සිට අධික තදබදයක් පැවතුණා.
ඒ අනුව, විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පසුගිය දිනවල ජනතාව දිවා රෑ දිගු පෝළිම්වල රැඳී සිටින ආකාරය දැකගත හැකි වූ අතර මීට මාස ගණනකට පෙර ලියකියවිලි භාර දී ඇති පිරිස් ද එම පෝළිම්වල සිටීමට සිදුව ඇති ආකාරය දක්නට ලැබුණා.
පසුගිය නොවැම්බර් 09 වන දා සිය පාස්පොට් ලබා ගැනීම සඳහා හඳුන්වාදෙන නව මාර්ගගත ක්‍රමයක් ක්‍රියාත්මක කළ අතර ආගමන විගමන වෙබ් අඩවියට පිවිස විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා දිනයක් වෙන් කර ගත හැකි බව දැනුම් දුන්නා.
එහිදී ආගමන විගමන දෙපාර්තුමේන්තුව පවසා සිටියේ මෙලෙස දිනයක් වෙන් කර ගැනීමේදී එක් දිනයක් සඳහා ටෝකන් සීමා සහිත ප්‍රමාණයක් නිකුත් කරන බවයි.
ආරංචි මාර්ග සඳහන් කළේ මෙම ක්‍රමවේදය යටතේ 2024 නොවැම්බර් 19 දින වෙන් කරගත් ජනතාවට ලැබී ඇත්තේ ලබන ජනවාරි 15 හෝ ඊට ආසන්න දිනයක් බවයි.
මෙවැනි පසුබිමක හිටපු දේශපාලඥයින් කිහිප දෙනෙකුටම පූර්ව දින වේලාවල් නොමැතිව ටෝකන් නිකුත් කර පැයකටත් වඩා අඩු කාලයකින් ගමන් බලපත් නිකුත් කරනා බව ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
මෙලෙස දේශපාලඥයින් වෙත කඩිනමින් විදෙස් ගමන් බලපත්‍ර සකසා දීම සිදු වන්නේ අතිරේක පාලක ජනරාල්වරයාගේ මැදිහත්වීමෙන් බවද වාර්තා වෙනවා.
මේ සඳහා ආසන්නතම සිදුවීමක් ලෙස ඊයේ (19) දින පෙරවරු 9.40ට පමණ ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවට පැමිණි ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා හා පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් ප්‍රිය හේරත් යන අය වෙත විනාඩි පනහකට ආසන්න කාලයක දී සිය ගමන් බලපත්‍ර සකසා දීම පෙන්වා දිය හැකියි.
මීට අදාළ අදාල ටෝකන් අංක, නව ගමන් බලපත්‍ර අංක ,පැරණි ගමන් බලපත්‍ර අංක පහතින්,
සමන් ප්‍රිය හේරත් P 0041778 -ටෝකන් අංක 3001
ලන්සා P 0041777 – ටෝකන් අංක 3002
මේ අතර, හිටපු අමාත්‍යවරයෙකු වන සරත් වීරසේකර, හිටපු මන්ත්‍රී ජගත් කුමාර, මෙන්ම හිටපු ජනාධිපති උපදේශකවරයෙකු වන රුවන් විජයවර්ධන යන අයටද මේ ආකාරයෙන් ඊයෙ දිනය තුළ ගමන් බලපත් නිකුත් කර තිබෙනවා.
ආරචි මාර්ගවලට අනුව, ගමන් බලපත් නිකුත් කිරීම සඳහා අයදුම්පත්‍ර බාරගැනීම දහවල් 12ට නතර කළ ද හිටපු රුවන් විජයවර්ධනගේ ගමන් බලපත් අයදුම්පත සවස 2.30 ට බාරගෙන කඩිනම්න් ගමන් බලපත්‍ර නිකුත් කර තිබුණා.
මෙලෙස පැමිණෙන අයදුම්කරූවන් අතිරේක පාලක ජනරාල්වරයා විසින් දෙපාර්තමේන්තුවේ දෙවැනි මහලේ ඇති 20වෙනි කාමරය වෙත යොමු කරන බවත් එතැන සිටින නියෝජ්‍ය පාලක වරයා ගමන් බලපත් ලබාගෙන එතැනම ඇති විශේෂ ජෛවමිතික යන්ත්‍රයෙන් ඇඟිලි සලකුණු ලබාදීම ද කඩිනමින් සිදු කරන බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා.
ඒ, කලින් දින වෙන් කරගෙන පැමිණෙන සාමාන්‍ය මහජනතාවට අයදුම් පත්‍ර ලබාදී පැය හතරකට ආසන්න කාලයක් නිම කළ පසු ගමන් බලපත්‍ර ලබා ගැනීමට රැඳී සිටිය යුතුව ඇති පසුබිමකයි.