Factcrescendo – Sri Lanka විසින් සිදු කළ ව්‍යාජ කරුණු තහවුරු කිරීමක් මඟින් තමාට සිදු වූ පෞද්ගලික හානියට රුපියල් කෝටි 10 ක වන්දියක් ඉල්ලා News 19 වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරක මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රී, Crescendo Transcription Pvt Ltd වෙත සිය නීතිඥවරු මඟින් එන්තරවාසියක් යොමු කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නිල දමිළ මාධ්‍ය ෆේස් බුක් ගිණුමෙහි පළ කර පසුව ඉවත් කරන ලද පෝස්ටුවක් සම්බන්ධයෙන් නිරෝෂ් මෛත්‍රී, සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ සටහනක් තබා තිබුණේ 2025 පෙබරවාරි 08 වන දිනයි.
“කුඩෙත් ආණ්ඩුවේ සල්ලිවලින් ගත්තු සීතක්කා.. ක#ක්#කානේද?” යන ශීර්ෂ පාඨය සහිතව සීතා අරඹේපොල මහත්මියගේ ඡායාරූපයක් ඇතුළත් කර සාදන ලද පෝස්ටුවක් ජනාධිපතිවරයාගේ නිල දමිළ මාධ්‍ය ෆේස් බුක් ගිණුමෙහි පළ කර ඇති බව පෙන්නුම් කරන ‘ස්ක්‍රීන් ශොට්’ එකක්ද අදාළ සටහන සමඟ අමුණා තිබුණා.
එම සටහන පහතින්,
“මේක බරපතල තත්ත්වයක්. ජනාධිපතිවරයාගේ නිල ද්‍රවිඩ ෆේස්බුක් පිටුවේ පලකර සුළු මොහොතකින් ඉවත් කරන ලද සටහනක්.
මේක වෙන්න පුළුවන් එක ක්‍රමයයි තියෙන්නේ. මේ ෆේස්බුක් පිටුවේ ඇඩ්මින්වරයෙක් ඔහුම නඩත්තු කරන වෙනත් මඩ ෆේස්බුක් පිටුවක පලකරන්න හදපු පෝස්ට් එකක් ලොග් වෙලා ඉන්නේ මොකෙන්ද කියලා බලන්නේ නැතුව පබ්ලිෂ් කළා වෙන්න පුළුවන්.
මෙහෙම සිදුවීමක් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාව සිටියදී ඔහුගේ මාධ්‍ය අංශයේ සිටි සමීර ද සිල්වා (මේ වන විට සිරස පත්තරේ වැඩසටහනේ නිවේදක) අතින්ද සිදුවූවා. මෛත්‍රිපාල ජනාධිපතිවරයාගේ ෆේස්බුක් පිටුවේ ඇඩ්මින්වරයෙකු වූ ඔහු අත්වැරැද්දකින් තමන් ලොග් වී සිටින්නේ තමන්ගේම ෆේස්බුක් පිටුවේ යැයි සිතා ෆේස්බුක් Live එකක් ආරම්භ කර තිබුණත් සුළු වේලාවකින් මේ වැරදි ෆේස්බුක් පිටුව බවට ඔහු තේරුම් ගෙන ඉන් ඉවත්ව තිබුණා.
අත්වැරැද්දකින් අනුර දිසානායක මහතාගේ ෆේස්බුක් පිටුවේත් මෙවැනි පලකිරීමක් සිදුවිය හැකි වුවත් ජනාධිපති මාධ්‍ය අංශයේ සිටින මෙම පුද්ගලයා එහි සිටියදීම මෙවැනි මඩ පෝස්ට් නිර්මාණය කරමින් පලකිරීම සඳහාද වැටුප් ගන්නා අයෙක්ද? සීතා අරඹේපොල සිය නිවස ගිණිගත් බවට පවසමින් වන්දි ලබාගැනීම සත්‍ය කරුණක් වුවත් මෙහි Caption එක වැනි දේවල් පලකරන මෙම පුද්ගලයා නඩත්තු කරන අනෙක් ෆේස්බුක් පිටු මොනවද ?
ජනාධිපති මාධ්‍ය අංශය තුළ සිටිමින් ජනාධිපතිවරයාවම අපහසුතාවයට පත්කිරීමට මෙවැනි ක්‍රියාවන් සිදුකරන පුද්ගලයින් කවුද ?”

මෙම සටහන පළ කිරීමෙන් අනතුරුව පැය 24ක් හෝ ගත වීමට පෙර Factcrescendo – Sri Lanka විසින් “ජනපතිගේ සමාජ ජාලා සටහන්වල ස්ක්‍රීන් සොට්ස් ලෙස පළවන සංස්කරණය කරන ලද සටහන්” යනුවෙන් කරුණු තහවුරු කිරීම සඳහා ලිපියක් පළ කර තිබු අතර, එහි දැක්වුණේ ජනාධිපතිවරයාගේ නිල සමාජ මාධ්‍ය ගිණුම්වලින් පළකළ පෝස්ට් ආකාරයෙන් අශ්ශීල බසින් පළවන ස්ක්‍රීන් ෂොට් සහිත සමාජ මාධ්‍ය ජාලා සටහන් ෆොටෝ ශොප් වැනි මෘදුකාංග භාවිතයෙන් සංස්කරණය කර නිර්මාණය වූ ඒවා මිස සත්‍ය ඒවා නොවන බවයි.
මෙම ලිපිය සමඟ Factcrescendo – Sri Lanka , නිරෝෂ් මෛත්‍රී සිය ෆේස් බුක් ගිණුමෙහි පළ කළ සටහනේ ස්ක්‍රීන් ශොට්ස්ද අමුණා තිබුණේ එය හිතාමතා ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද බව හැඟවෙන ආකාරයෙනි.
එමෙන්ම, Factcrescendo – Sri Lanka විසින් නිරෝෂ් මෛත්‍රී පළ කළ සටහනේ සත්‍යතාවය තහවුරු කිරීමකින් තොරව එය අසත්‍ය බවට ලේබල් කිරීමට කටයුතු කර තිබුණා.

කෙසේවෙතත්, පසුව Factcrescendo – Sri Lanka විසින් සිය ලිපිය සංස්කරණයට ලක් කර තිබූ අතර එහි සඳහන් වුණේ, ජනාධිපති මාධ්‍ය අංශය විසින් සිතා අරඹේපොල මහත්මිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිල ෆේස්බුක් පිටුව විසින් පළ කර තිබූ බවට පැවසෙන සටහන් සත්‍ය වශයෙන් ම පළ වී තිබූ අයුරු දැක ගන්නට ලැබුණු බව බොහෝ පාඨකයන් විසින් පෙන්වා දුන් බවයි.
“ජනාධිපති මාධ්‍ය අංශය විසින් සිතා අරඹේපොල මහත්මිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිල ෆේස්බුක් පිටුව විසින් පළ කර තිබූ බවට පැවසෙන සටහන ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවට ඔවුන් පෙන්වා දුන්නද, බොහෝ පාඨකයන් විසින් අපට පැවසුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ෆේස්බුක් පිටුවේ මෙය සත්‍ය වශයෙන් ම පළ වී තිබූ අයුරු දැක ගන්නට ලැබුණු බවත්, ඔවුන් ඒ අවස්ථාවේ දී ලබාගත් ස්ක්‍රීන් ෂොට්ස් සත්‍ය බවත්, පසුව එම අදාළ සටහන් එම ගිණුමෙන් ඉවත් කරගෙන ඇති බවයි.
මේ හේතුවෙන් අප Meta ආයතනයේ කරුණු විමර්ශන අංශයේ තාක්ෂණික සහය පතා ඇති අතර ඉහත සඳහන් ලෙසින් ජනාධිපති ෆේස්බුක් පිටුවේ මෙම සටහන පළ කර ඉවත් කර ඇත්තේ ද යන්න තාක්ෂණික පරීක්ෂා කිරීමක් සිදුකර ගැනීමේ හැකියාව පිළිබඳව විමසා ඇති අතර, ඒ ප්‍රතිචාරය අනුව මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.”
නිරෝෂ් මෛත්‍රී සිය නීතිඥවරුන් මඟින් යොමු කළ එන්තරවාසියෙදි දැක්වෙන්නේ, Factcrescendo – Sri Lanka මේ වන විට අදාළ ප්‍රකාශනය නිකුත් කර දින 12කට වැඩි කාලයක් ගත වී ඇති නමුත්, ඔවුන් Facebook වෙතින් කළ බව කියන විමසීම්වල ප්‍රතිඵලය පිළිබඳව මහජනතාව දැනුවත් කීරීමට කටයුතු කර නොමැති බවයි.
එමෙන්ම, සිය සේවාදායකයා Factcrescendo – Sri Lanka කාර්යාලය සම්බන්ධ වී සිදු කළ කරුණු විමසීමකදී අදාළ සටහන කිසිදු ආකාරයේ කරුණු තහවුරු කිරීමකින් තොරව පළ කරන ලද බවට එහි සේවකයින් විසින් පිළිගෙන ඇති බවද නීතිඥවරුන් පෙන්වා දී තිබෙනවා.
මෙම ව්‍යාජ කරුණු දැක්වීම හේතුවෙන්, මාධ්‍යවේදියෙකු ලෙස සිය සේවාදායකයා නින්දාවට, අපහාසයට සහ මහජන උපහාසයට ලක්ව ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ ආත්ම ගෞරවයටද දැඩි ලෙස බලපෑම් හට ගෙන ඇති බවත් නීතිඥවරුන් එන්තරවාසිය මඟින් සඳහන් කරනවා.
ඒ අනුව, සිය සේවාදායකයාට අපහාස වන ආකාරයෙන් පළ කළ ප්‍රකාශ සහ සටහන් වහාම ඉවත් කරගන්නා ලෙසත්, ඒ සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් නිකුත් කර සේවාදායකයාට කොන්දේසි විරහිතව ප්‍රසිද්ධියේ සමාව අයැදීමක් කළ යුතු බවත් එන්තරවාසිය මඟින් Factcrescendo – Sri Lanka වෙත දැනුම් දී තිබෙනවා.
එමෙන්ම, සිය සේවාදායකයාගේ කීර්ති නාමයට සිදු වූ හානිය වෙනුවෙන් රු. 50,000,000.00 ක් සහ ඔහුගේ ගෞරවයට සහ ආත්ම අභිමානයට සිදු වූ හානි සඳහා රු. 50,000,000.00 ක් බැගින් කෝටි 10ක වන්දි මුදලක් ගෙවිය යුතු බවද නීතිඥවරුන් Factcrescendo – Sri Lanka වෙත දැනුම් දී තිබෙනවා.
මෙම ඉල්ලීම් නොසලකා හැරියහොත් හෝ ඒවා ඉටු කිරීමට අපොහොසත් වුවහොත්, වැඩිදුර දැනුම්දීමකින් තොරව Crescendo Transcription Pvt Ltd ආයතනයට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්න බවද එන්තරවාසිය මඟින් අවධාරණය කරනවා.