අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනමක් පනවමින් ඕස්ට්‍රේලියාව නව නීතියක් සම්මත කර තිබෙනවා.
ළමුන් සඳහා සමාජ මාධ්‍ය පරිශීලනය සීමා කිරීමට එක් එක රජයන් විවිධ පියවර ගෙන තිබුණද මෙම ප්රවේශයත් සමඟ ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනමක් පනවමින් නීතියක් සම්මත කරගත් ලොව ප්‍රථම රට බවට ඕස්ට්‍රේලියාව පත් වෙනවා.
The online safety amendment (social media minimum age) bill යනුවෙන් හැඳින්වෙන මෙම පනත් කෙටුම්පත සම්මත වීමත් සමඟ සමාජ මාධ්‍ය හා තාක්ෂණික සමාගම් වෙත ළමුන් සඳහා වන ආරක්ෂාව තර කරන ලෙස නිවේදනයක්ද ඕස්ට්‍රේලියානු රජය විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, අදාළ තාක්ෂණික සමාගම් විසින් සමාජ මාධ්‍ය වෙත බාලවයස්කාර ළමුන් ප්‍රවේශ වීම වළැක්වීම සඳහා නිසි පියවර ගත යුතු බවත් එසේ නොකළහොත් එම සමාගම්වලට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 50කට ආසන්න දඩ මුදලකට යටත් වීමට සිදුවනු ඇති බවත් එරට රජය සඳහන් කරනවා.
මෙම සමාජ මාධ්‍ය තහනමට මේ වන විට ස්නැප් චැට්, ටික් ටොක්,ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම්, රෙඩිට්, සහ එක්ස් මාධ්‍ය ජාලා ඇතුළත් වන අතර එලෙස තහනම් විය හැකි සමාජ මාධ්‍ය සමාගම් ගණන තවදුරටත් වැඩි විය හැකි බවද වාර්තා වෙනවා.
ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනිස් මේ සම්බන්ධයෙන් දක්වා තිබූ අදහස් පහතින්,
“සමාජ මාධ්‍ය පීඩාකාරී පුද්ගලයන්ට ආයුධයක් විය හැකි බවත් එය සම වයස් දරුවන් අතර පීඩනය ඇති කරන බවත්, පරිශීලකයින් කණස්සලෙන් පිරවිය හැකි බවත් අපට පෙනී යනවා. එමෙන්ම එය ඔන්ලයින් වංචාවල තෝතැන්නක් බවටද පරිවර්තනය වී තිබෙනවා”
ඔහු තවදුරටත් පවසා තිබුණේ අවුරුදු 16ට අඩු ළමුන් එවැනි වංචා සහ අනතුරුදායක පුද්ගලයන්ගේ ගොදුරු බවට පත්වීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවයි.