සිය අධ්‍යපාන සුදුසුකම් සම්බන්ධයෙන් සත්‍ය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ කථානායක අසෝක සපුමල් රන්වල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජන බලවේගය කටයුතු කර තිබෙනවා.
මෙම විශ්වාසභංග යෝජනාව සඳහා අද (13) සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා, එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුනාතිලක, පා.ම. ජේ. සී අලවතුවල, අජිත් පී පෙරේරා, සුජිත් සංජය පෙරේරා, චතුර ගලප්පත්ති, ජගත් විතාන සහ හර්ෂණ රාජකරුණා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්සන් කරනු ලැබුවා.
සමගි ජන බලවේගය පවසන්නේ, වත්මන් කථානායකවරයා පසුගිය මැතිවරණයට තරග කිරීමට පෙරද, 2024 පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අවස්ථාවේ දී ද, පාර්ලිමේන්තුවට තේරී පත්වී කථානායක ධුරයට තෝරා පත්කර ගන්නා අවස්ථාවේදී ද කථානායක ධුරයේ රාජකාරී භාරගත් පසුව ද ඔහු වෙත නොමැති මොරටුව විශ්වවිද්‍යාලයෙන් ලබාගත් රසායනික ඉංජිනේරු විද්‍යා පිළිබඳ BSc උපාධියක් ද, ජපානයේ වසේදා සරසවියෙන් ලබාගත් ආචාර්ය උපාධියක් ඇති බව පවසමින් ජනතාව මුළා කර ඇති බවයි.
එමෙන්ම, අසෝක රන්වල මහතා ඔහුගේ නම සමග ආචාර්ය යනුවෙන් භාවිත කර ඇති නිසා ද මේ සම්බන්ධයෙන් ජනතාවගෙන් විරෝධයක් එල්ලවන අවස්ථාවේදී හා තොරතුරු විමසීමේ දී නිහඬ සිටිමින් සත්‍ය වසන් කර ඇති නිසා මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහයේ 3 වැනි කොටසේ 6 වැනි වගන්ති ප්‍රකාරව සහ එම ආචාරධර්ම සංග්‍රහයේ 5 වැනි කොටසේ චර්යා රීතිවලට අනුව එම රීති උල්ලංඝනය කර තිබීම, පාර්ලිමේන්තුවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ඔහු විසින් සෘජුවම ප්‍රධානීත්වය දරණ අනෙකුත් උත්තරීතර ආයතන පිළිබඳ විශ්වාසය කඩකිරීම යන හේතුන් දක්වමින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.