පස්සර – බිබිල ප්‍රධාන මාර්ගය, පස්සර 13 කණුව ප්‍රදේශයේ නාය යාම හේතුවෙන් අද (18) අලුයම 3.00 පමණ සිට එහි වාහන ගමනා ගමනය ඇණහිට තිබෙනවා.
අද පස්වරුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂක සංවිධානයේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සහ මාර්ග සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂක ජෙනරාල්වරයා එම ස්ථානය පරික්ෂා කළ බව බදුල්ල ආපද කළමණාකරණ ඒකකයේ අධ්යක්ෂ ඊ. එම් උදය කුමාර මහතා සඳහන් කළා.
සියළු තාක්ෂණික තත්ත්වයන් පරික්ෂාකර ගමනාගමනයට සුදුසු තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය උපකරණ සහ තාක්ෂණික උපදෙස් ලබා දුන් බවත් රාත්‍රී කාලයේදීත් එය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යක්ෂකවරයා සඳහන්කර සිටියා.
පාර විවර කරන තෙක් පයින් ගමන් කරන පුද්ගලයින්ට විටින් විට කරන අධීක්ෂණය යටතේ ගමන් කළ හැකි අතර සිකුරාදා වන විට මාර්ගය යථා තත්ත්වයට පත්කර ගැනීමට උපරිම උත්සාහ ගන්නා බව ඔහු පැවසුවා.
එමෙන්ම පස්සර නගරයට ජලය සපයන පොම්පයටද හානි සිදුව ඇති අතර එයින් සිදුවෙන අපහසුතාවයන් මගහරවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති අතර ඇරඹීමට නියමිත උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් අපහසුතාවයට පත් නොවන අයුරින් මාර්ගය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බව අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියා.