පාසල් අධ්‍යාපනය ලබන අස්වැසුම හිමි පවුල්වල ළමුන් සඳහා ලබා දෙන රු. 6,000ක දීමනාව
පසුගිය සිකුරාදා දිනයේ දී අස්වැසුම බැංකු ගිණුම් වෙත නිකුත් කර ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ආර්ථික අර්බුදයෙන් ඇතිවූ අහිතකර ප්‍රතිඵල හේතුවෙන් පාසල් යන ළමුන්ගෙන් 55 %කගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි අහිතකර බලපෑම් එල්ල වී ඇති බවයි.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් සිදුකරන ලද “Household Survey on Impact of Economic Crisis – 2023” දත්ත සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී තිබෙනවා.
අධ්‍යාපන කටයුතු කෙරෙහි අහිතකර බලපෑම් එල්ල වී ඇති සිසුන්ගේ ප්‍රතිශතය ග්‍රාමීය සහ වතු ආශ්‍රිතව වඩාත් ඉහළ අගයක් බව නිරීක්ෂණය වන බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා.
මෙසේ බලපෑමට ලක්වූ ළමුන් අතරින් 53.2% ක් පාසල් ලිපිද්‍රව්‍ය මිලදී ගැනීම අවම කර හෝ මුළුමනින්ම නවත්වා ඇති බවද, 26.1%ක් පෙර භාවිතා කරන ලද පාසල් ලිපි ද්‍රව්‍ය නැවත භාවිතා කිරීමට යොමු වී ඇති බව ද අනාවරණය වී තිබෙනවා.
එලෙස අවදානමට ලක් වූ, පාසල් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි වන අහිතකර බලපෑම අවම කිරීම අරමුණු කරමින් 2025 වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පාසල් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පාසල් ළමුන්ට දීමනාවක් ලබා දීමට රජය අදහස් කර ඇති බවද නිවේදනයේ සඳහන් .
එසේම, අස්වැසුම වැඩසටහනට ඇතුළත් නොවන අනෙකුත් සුදුසු පාසල් ළමුන් සඳහා ද එක් ළමයෙකුට රු. 6,000ක වටිනාකමින් යුත් ලිපිද්‍රව්‍ය ලබා ගැනීමට මෙම දීමනාව ලබා දීම සඳහා 2025 වර්ෂයේ දී අවශ්‍ය ප්‍රතිපාදන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කිරීමට අපේක්ෂා කරන අතර එම දීමනා සුදුසු ක්‍රමවේදයක් යටතේ පාසල් ළමුන් වෙත ලබා දීමට කටයුතු කරනු ඇති බවද මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පෙන්වා දෙනවා.
මෙමඟින් පාසල් අධ්‍යාපනය සඳහා දෙමාපියන් විසින් දරනු ලබන වැය බරට සහනයක් ලබා දීම සහ එමඟින් පාසල් ළමුන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව සිදුකර ගැනීම මඟින් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම රජයේ අපේක්ෂාව බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් 6,000 ක මුදලක් ලබාදීමට පසුගියදා රජය තීරණය කර තිබුණා.
කෙසේවෙතත්, ලංකා ගුරු සංගමය ඇතුළු පාර්ශව රැසක් පෙන්වා දී තිබුණේ, සාධාරණ ආකාරයකට එම දීමනාව සියලු පාසල් දරුවන්ට ලබා දීමට කටයුතු කළ යුතුව තිබූ බවයි.