25.1 C
Colombo
Monday, November 25, 2024

උසස් පෙළ පැවැත්වීම අත්හිටුවන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

- Advertisement -

මෙවර අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 12 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නියම කළා.

මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුදු ප්‍රනාන්දු සහ ප්‍රියන්ත ප්‍රනාන්දු අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබෙනවා.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් කියා සිටියේ මෙම විභාගය අද දින පෙරවරුවේ ආරම්භ වූ බවයි.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විරන්ත වළලියද්ද අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම සංශෝධනය කොට කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ ඉදිරියේදී ගොනු කිරීමට නියමිත සංශෝධිත පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීමේ අයිතිය තමන් රඳවා ගන්නා බවයි.

ඒ අනුව සංශෝධිත පෙත්සමක් ගොනු කිරීමට අවසර දුන් අධිකරණය අදාල පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දෙසැම්බර් මස 12 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.

මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ මෙවර අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අපේක්ෂිකාවක වන කෑගල්ල ප්‍රදේශයේ පදිංචි ඒ.එම්. හංසනී කවිෂා අලහකෝන් නමැති ශිෂ්‍යාවක් විසින්.

එහි වග උත්තරකරුවන් ලෙස විභාග කොමසාරිස් ජෙනරාල්වරයා අධ්‍යාපන අමාත්‍ය ආචාර්‌ය හරිනි අමරසූරිය, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම්කර තිබෙනවා.

පෙත්සම්කාරිය කියා සිටින්නේ 2023 වසරේ නොවැම්බර් මස 29 වනදා අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කළ චක්‍ර ලේඛයකට අනුව 2024 වසරේ අධ්‍යයන වර්ෂය රජයේ පාසල්, රජයේ අනුමත පුද්ගලික පාසල් හා පිරිවෙන් දින 170 ක් පැවැත්විය යුතු බව දක්වා තිබෙන බවයි.

එහෙත් එම දින 170ක අධ්‍යයන කාලය සම්පුර්ණ වීමට පෙර අපොස උසස් පෙළ විභාගය පැවැත් වීමට වග උත්තරකරුවන් ගෙන තිබෙන තීරණය තුලින් එම විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍යා ශිෂ්‍යාවන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

විශේෂයෙන්ම පළමු වතාවට මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් ලක්ෂ තුනකට ආසන්න පිරිසකට දැඩි අසාධාරණයක් සිදුවන බවත් පෙත්සමේ පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව දින 170 ක අධ්‍යයන කාලසීමාව සම්පූර්ණ වීමට පෙර අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් නොවැම්බර් මස 25 වනදා සිට දෙසැම්බර් මස 20 වනදා තෙක් එම විභාගය පැවැත්වීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම අත්හිටු වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩි දුරටත් ඉල්ලා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම් දීමක්

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින් විභාගය පවත්වාගෙන යාම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග...

අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා කඩදාසි මිලදී ගෙන...

සජිත්ගේ පුටුවේ වාඩි වුණ අර්චුනා සමාව ඉල්ලලා

10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේදී විපක්ෂ නායක අසුනේ වාඩි වූ යාපනය දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායම් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා එම සිදුවීම සම්බන්ධව සමාව අයැද...

POPULAR ARTICLES