පොලිස් නිලධාරියෙක් අනතුරට ලක්කර පළා ගිය බස් රථයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (04) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරින් අදාළ පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තාවන්නේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොළොන්නරුව මුලස්ථානයට පොලිසියට අනුයුක්තව රාජකාරි කටයුතු කළ පොලිස් සැරයන්වරයෙක්.
අදාළ පොලිස් නිලධාරියා පොළොන්නරුව – මඩකළපුව ප්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල ජාතික ක්‍රීඩාංගණය ඉදිරිපිටදී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, අනතුර සිදුකර ඇත්තේ කොළඹ සිය මඩකලපුව බලා ධාවනය වූ ලංගම බස් රථයක් බවයි.
ඊයේ රාත්‍රීයේ මෙම පොලිස් නිලධාරියා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමඟ ගල්ලෑල්ල ප්‍රදේශයට ගොස් ඇති අතර, පසුව එම පොලිස් නිලධාරියා මත්පැන් පානය කර මාර්ගයේ පයින් පැමිණ ඇති බව අනාවරණය වී තිබෙනවා.
එහිදී මඩකලපුව දෙසට ධාවනය වූ බස් රථ දෙකක් එක ළඟ ධාවනය වී ඇති අතර, ඉදිරියෙන් ගිය බස් රථයේ පොලිස් නිලධාරියා ගැටී, පිටුපසින් පැමිණි බස් රථයට මෙම නිලධාරියා යට වී තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකාර බස් රථ රියදුරා සහ බස් රථය අද (05) දිනයේ අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි.