වතු කම්කරුවන්ගෙන් වෘත්තිය සමිති සදහා මාසිකව අය කරනු ලබන සමාජික මුදල් 2024 දෙසැම්බර් මස සිට අය නොකරන ලෙසට වතු වෘත්තිය සමිති කිහිපයක සමාජිකයන් විසින් වතු පාලන අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මහ මැතිවරණයෙන් අන්ත පරාජයක් ලැබු වතුකරයේ වෘත්තිය නායකයින් බලයේ රැඳි සිටි කාලයේදීත් තමන්ට කිසිදු සුභ සාධනයක් සිදු නොකළ බවත්, ඒ අනුව මාසිකව රු 250-330 දක්වා විවිධ ගණන් යටතේ එක් එක් වෘත්තිය සමිති වලට අය කරන සමාජික මුදල නතර කරන ලෙසත් වතු කම්කරුවන් වතු පාලන අධිකාරියෙන් ඉල්ලා සිටිනවා.
මාස හයකට වරක් වතු වෘත්තිය සමිති විසින් වතු කම්කරුවන් සමාජිකයන් ලෙස බඳවා ගන්නා අතර 2025 වසරේ මුල් මාස හය සදහා සමාජිකයන් බඳවා ගැනීම සඳහා එම වෘත්තිය සමිති විසින් ලබාදෙන අයදුම්පත් ලබා නොගැනීමට වතුකම්කරුවන් විශාල පිරිසක් මේ වන විට තීරණය කර තිබෙනවා.
වතු කම්කරුවන් වැඩිදුරටත් පවසන්නේ වතු කම්කරුවන් මාසිකව වෘත්තිය සමිති වෙනුවෙන් ගෙවනු ලබන සමාජික මුදල්වල සවිස්තර වාර්තාවක්ද අදාළ වෘත්තිය සමිති විසින් තමන් වෙත ලබා නොදෙන බවයි.
(හැටන්- රංජිත් රාජපක්ෂ)