දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ අනතුරකින් 42 හැවිරිදි රුසියානු ජාතිකයෙකු මිය ගොස් තිබෙනවා.
පොලිසිය පවසන්නේ, කොළඹ සිට මාතර දෙසට ධාවනය වූ බස් රථයක රියදුරුට නින්ද යාමෙන් එම දිශාවටම ධාවනය වූ ලොරි රථයක පිටුපස ගැටී මෙම අනතුර සිදු ව ඇති බවයි.
ඊයේ (05) රාත්රියේ දක්ෂිණ ආධිවේගී මාර්ගයේ 110.6 එල් ස්ථානයේ දී මෙම අනතුර සිදුව තිබුණා.
අනතුරින් බස් රථයේ ඉදිරිපස සිටි විදේශික යුවළක් තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව පිරිමි පුද්ගලයා මිය ගොස් තිබෙනවා.
මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පින්නදූව පොලිස් මුරපොළ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.