30 C
Colombo
Wednesday, December 25, 2024

අසිරිමත් නත්තල අදයි

- Advertisement -

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සිහි කෙරෙන නත්තල කිතුණු ජනතාව අද (25) මහත් බැතියෙන් සමරනු ලබනවා.

නත්තල , ලොවට ගෙන එන්නේ සාමයේ හා සහජීවනයේ අසිරිමත් පණිවුඩයයි.

‘සාමයේ කුමාරයාණෝ’ ලෙස ලෝකවාසීන්ගේ භක්තියට සහ ගෞරවයට පාත්‍ර වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සුවිශේෂී උපත යෙදී ඇති දෙසැම්බර් මස 25 වැනි දිනය නත්තල් දිනයයි.

සීතල උඳුවප් මාසයේ ගවලෙනක උපත ලැබූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ලෝක සාමය උදාකිරීම සඳහා සිය ජීවිතය කැප කළ ගෞරවණීය ආගමික ශාස්තෘවරයෙක්.

බෙත්ලෙහෙම් අහස් කුසේ දීප්තිමත් තාරකාවක් පායා තිබුණේ ලොවට බිහිවන ගැලවුම්කරුවාණන් පිළිබඳ සුබ පෙරනිමිති පහළ කරමින්.

ලෝවැසියන් පාපයෙන් මුදා ගැනීමට උපන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ , සියල්ලන් දුකින් මුදා ගැනීම සඳහා බාධා රැසක් මැද ඉටු කළේ සුවිශාල මෙහෙයක්.

ප්‍රධාන නත්තල් දේව මෙහෙය ඊයේ මධ්‍යම රාත්‍රියේ පැවැත්වුණේ ජා-ඇල වික්ෂෝප මාතා දේවස්ථානයේදියි.

ඒ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

අගරදගුරු හිමිපාණන් සිය නත්තල් දින පණිවුඩයෙන් ප්‍රකාශ කළේ අන්‍යයන්ට උදව් උපකාර කිරීමට පෙළඹෙන ලෙසයි.

මේ අතර අසිරිමත් නත්තල පළමුව උදාවූයේ නවසීලන්තයේ කිරිබති දූපත්වලටයි. වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේ ඊයේ නත්තල් දේව මෙහෙය පැවැත්වුණේ ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේගේ ප්‍රධානත්වයෙන්.

එහිදී උන්වහන්සේ 2025 වසර ක්‍රිස්තු ජයන්තියක් එනම් ජුබිලි වසරක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේ සාමාන්‍ය ගඩොලින් තැනූ ශුද්ධ වූ දොරටුව විවෘත කරමින් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ මෙම විශේෂ ජුබිලි වර්ෂය ප්‍රකාශයට පත් කර අතර එහිදී දේව මෙහෙයට එක්වූ උන්වහන්සේ ඉල්ලා සිටියේ ලෝකය යහපත් කිරීමට ධෛර්යය දෙන ලෙසයි.

එමෙන්ම බටහිර ඉවුරේ පිහිටි බෙත්ලෙහෙම් නගරයේ නගරාධිපතිවරයා විසින් සඳහන් කළේ පලස්තීන ජනතාව වෙත සිදුකරනු ලබන කුරිරු ප්‍රහාරයන් හේතුවෙන් මෙවර නත්තල් උත්සවයේ සැමරුම් සහ යාඥාවන් සීමා කරන බවයි.

බෙත්ලෙහෙම් නගරය වෙනදා මෙන් විශාල නත්තල් ගසක් ඉදිකර නොමැති අතර නගරය පුරා විවිධ අලංකාරවත් අයුරින් විදුලි බුබුලු‍ යොදා නත්තල පිළිගැනීම වෙනුවෙන් සූදානම් නොවු අතර පාලු‍ ස්භාවයක් ගෙන ඇති බවට ද වාර්තාවනවා.

මේ අතර නත්තල් ගසකට ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිරියාවේ විරෝධතා ආරම්භ වී ඇති අතර, ඔවුන් එහිදී කියා සිටියේ සුළු ජාතීන් ආරක්ෂා කිරීමට නව ඉස්ලාමීය බලධාරීන් පියවර ගත යුතු බවයි.

මධ්‍යම සිරියාවේ ක්‍රිස්තියානි බහුතරයක් වෙසෙන නගරයක ප්‍රධාන චතුරශ්‍රයේ මෙම ගස ඉදි කර තිබූ අතර එය ගිනිගන්නා අයුරු සමාජ මාධ්‍යවල දැක්වුණා.

එමෙන්ම භේදයේ අඳුර දුර ලා සාමය රජයන සහෘදයින්ගේ දේශය බවට අප රට ක්‍රමයෙන් පරිවර්තනය වෙමින් පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

සිය නත්තල් දින සුබ පැතුම් පණිවුඩයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, මනුෂ්‍ය නිදහස හා සාධාරණත්වයේ පදනම මත පිහිටා ජේසුස් වහන්සේ කළ අරගලය නිසාම උන්වහන්සේ පූජනීයත්වයට පත් කළ බවයි.

එම මනුෂ්‍ය නිදහස සහ සාධාරණත්වය අගයමින් උන්වහන්සේගේ මඟ පෙන්වීම වර්තමානයේ යථාවක් කිරීමට රජයක් ලෙස කැප වී සිටින බව ද ජනාධිපතිවරයාගේ නත්තල් පණිවුඩයේ සදහන්.

මේ අතර නත්තලේ සැබෑ අර්ථය වන සාමුහිකත්වය, කෘතඥතාව සහ සාමය පෙරදැරි කර ගනිමින් උදා වූ නත්තල ප්‍රීතිමත්ව සහ අර්ථාන්විතව ගත කළ යුතු බව අග්‍රාමාත්‍ය, ආචාර්ය, හරිනි අමරසූරිය පවසනවා.

ඒ නත්තල් දින සුබ පැතුම් පණිවුඩයෙන් නිකුත් කරමින්.

ජාතියක් වශයෙන් නැවත ගොඩනැගෙන මෙම පුනරුද සමයේ තම පවුල හා හිතමිත්‍රාදීන් සමඟ කාලය ගත කිරීම ඉතා වැදගත් බවත් සාමුහිකව කටයුතු කිරීම, බෙදා හදා ගැනීම හා එකිනෙකාට සහය වීම මඟින් අපගේ සබදතා මෙන්ම ශක්තීන් ද වර්ධනය කර ගැනීම වැදගත් බවත් එහි සදහන්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද නත්තල් දින සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවාසී සියලු කිතුණු ජනයාට ප්‍රීතිමත් සුබ නත්තලක් ප්‍රාර්ථනා කරන බවයි.

බංකොළොත්භාවයෙන් මිදීමට නම් ජාති, ආගම්,පක්ෂ භේදයකින් තොරව සියලු ජනතාව සහෝදරත්වයෙන් එකට එක්විය යුතු බව ද ඔහු නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ සදහන්.

RECENT ARTICLES - SINHALA

සොරකම් රැසක් සිදුකළ කල්ලියක් කොටුවෙලා

දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස හා රන් ආභරණ වෙළෙඳසැල් 21කට අධික සංඛ්‍යාවක් බිඳ රුපියල් කෝටි ගණනක මුදල්, රන් භාණ්ඩ, ජංගම දුරකථන ඇතුළු දේපොළ සොරාගත් සැකකරුවන්...

අලි බලන්නත් ඔන්ලයින් ටිකට්

පින්නවල අලි සංරක්ෂනාගාරය නැරඹීම සඳහා බලාපොරොත්තු වෙන දෙස් විදෙස් සංචාරකයන්ට අන්තර්ජාලය හරහා මාර්ගගත ක්‍රමයට ප්‍රවේශ පත්‍ර මිලදි ගත හැකි බව සත්වෝද්‍යාන අධ්‍යක්ෂක ජනරාල් රංජන්...

සෞඛ්‍ය සේවාවේ ඉස්සරහට වැඩ වෙන්නේ දේශපාලකයන්ගේ කැමැත්තට පිටින් – නලින්ද

මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි සියලු කටයුතු දේශපාලන අධිකාරියේ කැමැත්තට නොව අමාත්‍යාංශයේ ස්ථීරසාර සැලසුමකට අනුව සිදු විය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද...

POPULAR ARTICLES

ගෝලීය සාගතය උග්‍ර වෙලා

ලොව ධනවත් රටවල් සාගතයෙන් පීඩා විදින ලෝ වැසියන්ට ආධාර ලබාදීම අවම වීමත් සමග ගෝලීය සාගතය උග්‍ර වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ඔවුන් අවධාරණය...

සොරකම් රැසක් සිදුකළ කල්ලියක් කොටුවෙලා

දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස හා රන් ආභරණ වෙළෙඳසැල් 21කට අධික සංඛ්‍යාවක් බිඳ රුපියල් කෝටි ගණනක මුදල්, රන් භාණ්ඩ, ජංගම දුරකථන ඇතුළු දේපොළ සොරාගත් සැකකරුවන්...

අලි බලන්නත් ඔන්ලයින් ටිකට්

පින්නවල අලි සංරක්ෂනාගාරය නැරඹීම සඳහා බලාපොරොත්තු වෙන දෙස් විදෙස් සංචාරකයන්ට අන්තර්ජාලය හරහා මාර්ගගත ක්‍රමයට ප්‍රවේශ පත්‍ර මිලදි ගත හැකි බව සත්වෝද්‍යාන අධ්‍යක්ෂක ජනරාල් රංජන්...