වැලිකඩ පොලිසිය විසින් අප්‍රේල් මස පළමුවැනිදා සැකපිට අත්අඩංගුවට ගත් 25 හැවිදිරි සත්සර නිමේෂ් නමැති තරුණයකු මිය ගොස් තිබෙනවා.
පොලිසිය තුළදී සිදු වූ වධහිංසා මේ මරණයට හේතුව බවට එම තරුණයාගේ ඥාතීන් චෝදනා කරනවා.
මෙම තරුණයා පෞද්ගලික රෝහලක සේවය කර බදුල්ල – මීගහකිවුල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්
පසුගිය (01)වනදා රාජගිරිය ප්‍රදේශයේ බෝඩිමක් සොයාගෙන යන අතරතුර කිසියම් පිරිසක් ත්‍රීරෝද රථයකින් ඔහුව ලුහුබැඳගෙන ගොස් තිබුණා.
ඉන් බියට පත් වූ අදාළ තරුණයා අසළ පිහිටා තිබූ නිවසකට දිව ගොස් ඇති අතර එහි සිටි පිරිස සොරෙක් යැයි සිතා ගස් බැඳ ඉන් අනතුරුව පොලිසියට දැනුම්දී තිබෙනවා.
වැලිකඩ පොලිසියේ අත්අඩංගුවට පත් වූ ඔහු එදින එනම් පසුගිය (01)වනදා සිය මවට ඇමතුමක් ගෙන පොලිස් නිලධාරින් විසින් තමන්ට හිරිහැර කරන බවට දැනුම්දී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ විධායක අධ්යක්ෂ නීතිඥ සේනක පෙරේරා මහතා විසින් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට ලිපියක්ද යොමු කර තිබෙනවා.
නීතිඥ සේනක පෙරේරා මහතා,
“මේ තරුණයා පොලිස් අත්අඩංගුවේ සිටියදී විවිධ වධහිංසාවලට ලක් වූ බව තමයි ඔහුගේ මව සහ අනෙකුත් තොරතුරු අනුව හෙළිදරව් වෙන්නේ. ඒ කියන්නේ අප්‍රේල් 02 වැනිදා මේ තරුණයා මිය ගොස් ඇති බවට මවට ආරංචි වෙනවා. මව පොලිසියට පැමිණෙනවිට එතකොට ශරීරය රෝහලට අරන් ගිහින් ඉවරයි. තවදුරටත් සොයාබැලීමේදී ඒ තරුණයා ඇඳගෙන හිටිය ඇඳුම පවා පොලිසිය විසින් හංගලා. ඩෙනිම කුණු කූඩයකට දාලා. ඒ තරුණයා භාවිත කළ දුරකතනය විනාශ කරන්න කටයුතු කරලා තියෙනවා. මේ සෑම සිද්ධියකින්ම තේරෙන්නේ, යම් දෙයක් හංගන්න උත්සහ කරපු බවයි. සියදිවි නසාගැනීමක් කියලා තමා පොලිසිය විසින් අම්මාට කියලා තියෙන්නේ. කොහොම වුණත් මේ වනවිට මුල්ලේරියාව මානසික රෝහලේ මෘත ශරීරාගාරයේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වෙනවා. වෛද්‍ය පරීක්ෂණයත් එක්ක මොකද වුණේ කියලා අපිට දැනගන්න පුළුවන්. රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී තරුණයා බොහෝම බරපතල තත්ත්වයක හිටියේ, ශරීරයේ උණුසුම විතරයි තිබුණේ කියලා මවට වෛද්‍යවරයා කියලා තියෙනවා.”
