අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සහ සලිදු මල්ශික හෙවත් කුඩු සලිදු යන අයගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමට අදාලව අප්‍රේල් මස 4 වැනිදා ට පෙර සීමිත විරෝධතා ගොනු කරන ලෙස අභියාචනාධිකරණය අද (20) නීතිපතිවරයාට කල් ලබා දුන්නා.
ඒ, මෙම පෙත්සම අද (20) අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේ දීයි.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින බවත්,එම සැකකරුවන් දෙදෙනා කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් නිරීක්ෂණය කළ බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියා
මෙම අවස්ථාවේ දී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් අත්අඩංගුවේ පසුවන තම සේවාදායකයින් ගේ ජීවිත ආරක්ෂාව දැඩි තර්ජනයකට ලක් වී තිබෙන බව දන්වා සිටියා.
ජාත්‍යන්තර ත්‍රස්තවාදි සංවිධාන හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පවත්වමින් අවි ආයුධ රැස් කොට වෙඩික්කරුවන් යොදා ශ්‍රී ලංකාව තුළ මිනීමැරුම් ඇතුළු අපරාධ සිදුකිරීම සම්බන්ධයෙන් තම සේවාදායකයාට චෝදනා එල්ල වී තිබෙන බව ඔහු වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ රැඳවුම් නියෝගයේ සඳහන් වන බව කුඩු සලිදු නමැති විත්තිකරුගේ පියා ඉදිරිපත් කළ පෙත්සම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි අධිකරණය කරුණු දක්වමින් පෙන්වා දුන්නා.
මෙවැනි බරපතළ චෝදනා එල්ල වූ සැකකරුවකු පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි විමර්ශන අංශය මගින් විමර්ශන සිදුකිරීම විමතිය දනවන කරුණක් බවත් පසුගිය කාලයේ රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ සිටි මාකඳුරේ මධුෂ් නමැති සැකකරු රැඳවුම් නියෝග අවසන් වී දින දෙකකින් පසුව විමර්ශන කටයුතු සඳහා පිටස්තර ස්ථානයකට රැගෙන ගිය අවස්ථාවේ දී වෙඩි තබා මරා දැමු බවද පෙන්වා දුන්නා.
හරක් කටා නැමති සැකකරු වෙනුවෙන් ඔහුගේ පියා ඉදිරිපත් කළ පෙත්සම සඳහා පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මෙම සැකකරුගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම රජයට තිබෙන බව සඳහන් කළා.
මෙම අවස්ථාවේ දී නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ශනිල් කුලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් මුළුමනින්ම උපකල්පනය කරන ලද කරුණු මත ගොනු කර තිබෙන හෙයින් ඒවා විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියා.
මෙම අවස්ථාවේ දී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා හා ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇති වී තිබෙනවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම්වලට අදාල සීමිත විරෝධතා අප්‍රේල් මස 4 වැනිදාට පෙර ගොනුකරන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කළා.