ලංකාවේ පළමු වරට ගුවන් හමුදාවේ පියාසර නියමු නිලයට කාන්තාවන් දෙදෙනෙකු පත් වුණේ නොවැම්බර් 15 වැනි ඉරිදා. සතියකට කලින්. ඒ මෙය ඓතිහාසික සිදුවීමක් වන්නේ හේතු ගණනාවක් නිසා.
සාමාන්‍යයෙන් කාන්තාවන්ට කළ නොහැකි දේවල් බවට සමාජයේ වැරදි අදහස් පවතින ක්ෂේත්‍ර ගණනාවක් තිබෙනවා. හමුදාව සහ ගුවන් නියමු වෘත්තිය යනු ඒවා අතරින් දෙකක්. අද වන විට ඕනෑ තරම් හමුදා සෙබළියන් සිටිනවා. ඕනෑ තරම් ගුවන් නියමුවරියන් ඉන්නවා. එහෙත්, මෙය ඊටත් වඩා සුවිශේෂී අවස්ථාවක්.
මේ වගේ කාලෙක ගැහැණියක් වෙලා උපදින හැම කෙනෙක්ටම තිබෙන අංක එකේ වගකීම තමයි තමන්ට තිබෙන සීමා පුළුල් කරගැනීම. පවුලේ ගෞරවය, සංස්කෘතිය, මාපියන්ගේ කැමැත්ත, සැමියාගේ වුවමනා වගේම ගැහැණුන්ට ඔය දේ කරන්න බැහැ ආදී නොයෙක් හේතු කියමින් ගැහැණු අය සීමා කරන්නට සමහරුන් උත්සාහ කරනවා. සමහර වෙලාවට සීමා පනවන්නේම වැඩිහිටි ගැහැණු අයමයි.
ඒ සීමා කඩාදාලා, ඊළඟ පරම්පරාවේ කාන්තාවන්ට අලුත් අවස්ථා විවර කර දීම කාන්තාවන්ගේ වගකීමක්.
ඒ අනුව ලංකාවේ සිටින සුවහසක් තරුණ නංගිලාට අලුත් මාවතක් විවර කර දෙන්නට, පළමු ගුවන් හමුදා නියමුවරියන් වූ අක්කලා දෙන්නා කළ මෙහෙය අමතක කරන්න බැහැ.
ඇත්තටම මෙම අවස්ථාව ඒ තරුණියන්ට විවර වුණේ ගුවන් නියමුවරියන් බඳවාගැනීමට ගුවන් හමුදාව ගත් ප්‍රතිපත්තිමය තීන්දුවක් නිසයි. ඇතැම්විට අලුත් දොරවල් විවර වෙන්නට නම් සමාජයෙන් හෝ බලාධිකාරියෙන් අගුල හැර දෙන්න සිද්ධවෙනවා.
මීට පෙර රජය පැවති සමයේ 2017 දී පමණ ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියමුවරියන් බඳවාගන්නට තීන්දු කරන විට, මඳක් ප්‍රමාද බවත් සමහරුන් කීවා. ඒ වන විට පාකිස්ථානය වැනි සාම්ප්‍රදායික රටවල්වල පවා ගුවන් නියමුවරියන් සිටියා. මිලිටරි ක්ෂේත්‍රයේ කාන්තාවන්ට තැන ලැබීම සෑම රටකම පාහේ වැඩි වැඩියෙන් සිදු වී තිබුණා.
කෙසේ වෙතත් 2018 දී සිව්දෙනෙකු ගුවන් නියමු පුහුණුව ආරම්භ කළා. පවිත්‍රා ගුණරත්න, රංගනා වීරවර්ධන, පියුමි ජයරත්න සහ ජයනි තත්සරණි හේවාවිතාරණ. 2018 දී ගුවන් නියමුවරියක් සඳහා පුහුණුව ලබන කාලයේ බීබීසී අඩවියට රංගනා වීරවර්ධන මෙසේ කියා තිබුණා.
‘ලොකු අභියෝගයක් මේක. ඒ අභියෝගය භාර ගැනීමේ අදහසින් තමයි මම මේ රැකියාව තෝරාගත්තේ, මම කියන්න කැමති රටේ ඉන්න අනෙක් සියලුම තරුණියන්ට අභියෝගය භාර ගන්න ඕනි, තමන්ට ඒ දේ කරන්න පුළුවන් බව පෙන්විය යුතුයි.’
පවිත්‍රා ලක්ෂාණි කියා තිබුණේ මෙවැන්නක්.
‘ගුවන් නියමුවරියක් වෙන්න පොඩි කාලේ සිට ආශාවක් තිබුණා. හමුදාව කිව්වම ගැහැණු ළමුන්ට ගෙවල්වලින් බැඳෙන්න දෙන්නේ නැහැ. කාන්තාවක් නිසා කරගන්න බැරි වෙයි කියලා ඒ අය බයයි. පුරුෂයන් වුනත් සිතන්න ඕනි තමන්ට වගේම කාන්තාවන්ටත් නිසි තැන ලැබිය යුතුයි කියලා.’
ඒ අතරින් රංගනා වීරවර්ධන සහ පවිත්‍රා ගුණරත්න පළමු ගුවන් නියමුවරියන් ලෙස අධිකාරියට පත් වුණා. ඒ ත්‍රිකුණාමලය චීනවරාය ගුවන් හමුදා ඇකඩමියේ තිබුණ නිලධාරීන් විසිර යෑමේ උත්සවයේදී. එහිදී රංගනා වීරවර්ධන මෙනෙවිය ජනාධිපති වර්ණ සහිතව හමුදා පෙළපාළියක් මෙහෙයවූවා. ඒ විදියට හමුදා පෙළපාලියකට අණ දුන් ලංකාවේ පළමු නිලධාරිනිය ඇය.
අප මේ තරුණියන් දෙදෙනාගේ අදහස් ගොනු කළේ සිළුමින පුවත්පත සහ ලංකාදීප පුවත්පත සහ වෙත ඔවුන් දක්වා තිබුණු අදහස් ඇසුරෙන්.
දෙමාපියෝ කැමති වුණේ නැහැ
රංගනා වීරවර්ධන
‘මගේ ගම අම්පාර. මම බොහොම සාමාන්‍ය පවුලක ගැහැණු ළමයෙක්. ජ්‍යෙෂ්ඨ පාසල් අධ්‍යාපනය ගම්පහින් ලැබුවා. මට ගුවන් හමුදාවට බැඳෙන්න ලොකු ආසාවක් ඇති වුණා. හැබැයි කුඩා කාලයේ නම් මම හීන දැක්කේ වෛද්‍ය වෘත්තියේ නියැලෙන්න. ඒත් ගුවන් හමුදාවට බැඳෙන්න ඇති වුණු දැඩි ආසාවත් එක්ක මම ගුවන් හමුදාවට බැඳෙන්න තීරණය කළා. මුලදී නම් මගේ තීරණයට දෙමාපියෝ කැමති වුණේ නැහැ.
බොහෝ දෙනෙක් හිතන්නෙ ගැහැනියක් සිටිය යුත්තේ ගෘහණියකගේ භූමිකාවේ කියලා. නමුත් ඇය සතු ශක්‍යතාව ඉතාම විශාලයි. ඇය නිවෙස තුළත් බාහිර සමාජයෙත් විවිධ භූමිකා රඟ දක්වනවා. සමබරව පවත්වා ගන්නවා. කාන්තාවක් වීම විශේෂයි. ඔබට එය අවශ්‍ය නම් ඒ දේ වෙනුවෙන් කැප වී වැඩ කරන්න. නියතවම ඔබට යම් දිනෙක එහි ප්‍රතිඵල ලැබෙනවා.’
තැනක් ලැබෙන තෙක් ඉන්න එපා
පවිත්‍රා ලක්ෂාණි ගුණරත්න
‘මම පවුලේ වැඩිමලා. ඉස්කෝලෙදි බොහෝ දේවල් කළමනාකරණය කරගත්තා. මලල ක්‍රීඩාව තමයි මම ප්‍රිය කළ ක්‍රීඩාව. ඉස්කෝලේ විවාද කණ්ඩායමේ හිටියා. ශිෂ්‍ය නායිකාවක් විදිහට කටයුතු කළා. අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටියේ ජීව විද්‍යා අංශයෙන්. විභාගය සමත් වුණාට මගෙ හිතේ කාලෙක ඉඳන් තිබුණු ලොකුම ආසාව ගුවන් හමුදාවට බැඳෙන්න. ඒ ආසාව හොඳටම තීව්‍ර වුණේ ගුවන් හමුදා පියාසර නිලධාරිනියන් බඳවා ගැනීමට තිබූ නිවේදනයත් එක්ක.
පාසල් අධ්‍යාපනයෙන් පසු ගුවන් හමුදාවට බැඳෙන්න ලොකු ආසාවක් තිබුණ නිසාම 2017 දී මම ගුවන් හමුදාවට එක් වුණා.
දියතලාව සටන් පුහුණු පාසලේ මූලික සටන් පුහුණුවක යෙදුණා. ඒ වගේම අවි පුහුණුව ඉතා හොඳින් පුහුණු කළා. මාස 6ක න්‍යායික දැනුම වගේම පියාසර පාඨමාලාවක්ද මාස 6ක කාලයක් ඉතා සාර්ථකව අවසන් කළා. කවදාවත් ජීවිතේ අමතක නොවන දවස තමයි ගුවන් යානයක පුහුණුවීම් කළ මුල්ම දවස. එදා චකිතය බිය සමඟ මිශ්‍ර වුණු ආශ්චර්යවත් ඒ හැඟීම වචනයට ගොනු කරන්න හරිම අමාරුයි. ඒ දවසට එන්න ගොඩක් කැපකිරීම් කළා. වසර තුනක කාලයක්.
කාන්තාවන්ට කළ හැකි දේ බොහෝයි. හැබැයි බොහෝ දෙනා අපිට ඒවා කැප නෑ කියා අතහරිනවා. උනන්දුව තියෙනවානම් අපේ ගමන කාටවත් නතර කරන්න බැහැ.
ගැහැනියකට කරන්න පුළුවන් දේ විශාල පරාසයක පැතිරෙනවා. ඇයට තමන්ගේ පෞද්ගලික ජීවිතය මෙන්ම රාජකාරි ජීවිතය සමරබව පවත්වා ගත හැකි නම් ඇයට අර්ථවත් සමාජ ජීවිතයක් ගත කරන්න පුළුවන්.
මේ ක්ෂේත්‍රයට එන්න ආසාවෙන් ඉන්න නැගෙණියන්ට, තරුණියන්ට කියන්නෙ ජීව්තේ ජයගන්න නම් අභියෝගවලට මුහුණ දෙන්නට ඕනෑ. එතැන තමයි අපේ සාර්ථකත්වය තියෙන්නේ. සාම්ප්‍රදායික රැකියාවකට වඩා දක්ෂතාවෙන්, දැනුමෙන්, උත්සාහයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න. සාම්ප්‍රදායික බැම්මෙන් එහාට තාරුණ්‍යය සිතිය යුතුයි කියන තැන මම ඉන්නවා. තරුණියට, ගැහැණියට මේ සමාජයේ තැනක් ලැබෙන තෙක් ඉන්න එපා. තැනක් හදාගන්න උත්සාහ කරන්න.’