ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දීය තමිල්නාඩු ධීවරයින්ගේ සම්ප්‍රදායික ධීවර අයිතීන් උල්ලංඝනය කරමින් සිටින අතර, එය ජාතියට අභියෝග කරන බව පෙනීයන බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කේ. ස්ටාලින් පවසනවා.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් වෙත ලිපියක් යවන තමිල්නාඩු මහ ඇමතිවරයා, නොවැම්බර් 16 වන දින ධීවරයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ යාන්ත්‍රික බෝට්ටුවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්පත් කර ගැනීම පිළිබඳව සිය අවධානය යොමු කරමින් ඔහුගේ කන්ස්සල්ල පළකර තිබෙනවා.
එම ලිපිය හරහා තමිල්නාඩු මහා ඇමති එම්.කේ ස්ටාලින් පවසන්නේ ඒ සම්බන්ධයෙන් මධ්‍යම රජය වහා ම සාධනීය පියවරක් ගත යුතු බව සහ දිගින් දිගට සිදුවන මෙම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජයේ නිල විරෝධය පළ කළ යුතු බවයි.
මෙම වසර තුළදී පමණක් තමිල්නාඩු ධීවරයින් 198 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙලෙස සිය ධීවරයින් නිතර සිරගත කිරීම, ඔවුන්ගේ බෝට්ටු අත්අඩංගුවට ගැනීම සහ යාත්‍රාවලට සිදු කරන ලද අලාභහානි හේතුවෙන් මුළුමනින්ම ධීවර කර්මාන්තයෙන් යැපෙන බොහෝ ධීවරයින්ගේ ජීවනෝපාය බිඳ වැටී ඇති බවයි ස්ටාලින් පවසන්නේ.
ඉන්දීය රජය පාර්ශ්වයෙන් නැවත නැවතත් අභියාචනා කළද ධීවරයින් අත්අඩංගුවට ගැනීම අඛණ්ඩව සිදුවන අතර, මේ වන විට තමිල්නාඩු ධීවරයින්ට අයත් බෝට්ටු 100ක් ශ්‍රී ලංකාව භාරයේ පවතින අතර ඉන්දීය ධීවරයින්ගේ සාම්ප්‍රදායික ධීවර අයිතීන් සුරැකීමට තමිල්නාඩු රජය උනන්දු වන බව සහ කැපවන බවට තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා මෙම ලිපිය හරහා යළි යළිත් අවධාරණය කරනවා.
“ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පෝක් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී අපගේ ධීවරයින්ගේ සාම්ප්‍රදායික ධීවර කර්මාන්තය ට ඇති අයිතීන් උල්ලංඝනය කිරීම් අඛණ්ඩව සිදුවන අතර එය ඉන්දියාවට සහ ඉන්දියාවේ ආරක්ෂාවට අභියෝගයක් ලෙස පෙනෙන බවයි තමිල්නාඩු මහ අමාත්‍යවරයා ඉන්දීය විදේශ ලේකම් වරයා වෙත යොමු කළ ලිපියේ දැක්වෙන්නේ.
“මේ සම්බන්ධයෙන් අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික පියවර නැවතත් මෙවැනි තත්ත්වයක් ඇති නොවන පරිදි ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි” ඔහුගේ ලිපියෙන් ඉන්දීය විදේශ ලේකම් වරයාගෙන් ඉල්ලා තිබෙනවා.
ඊට අමතරව “ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති සියලුම ඉන්දීය ධීවරයින් සහ ඔවුන්ගේ ධීවර යාත්‍රා කඩිනමින් නිදහස් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දෙන ලෙසත් මම ඔබෙන් ඉල්ලා සිටිමි” යනුවෙන් එම ලිපියේ වැඩි දුරටත් දක්වා තිබුණා.
මේ අතර, තමිල්නාඩුවේ කරයික්කාල්, පුදුකෝට්ටායි සහ නාගපට්ටිනම් දිස්ත්‍රික්කවල පදිංචි ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු සහ ඔවුන් පැමිණි යාත්‍රා ජාත්‍යන්තර සමුද්‍ර සීමාව තරණය කිරීම හේතුවෙන් පසුගිය බදාදා උදෑසන ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙම ධීවරයින් බදාදා අලුයම යාපනය නැදුන්තීව් ආසන්නයේ ජාත්‍යන්තර මුහුදු තීරය පසුකර මෙරට මුහුදු සීමාවට පැමිණ ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදීයි මෙලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ.