හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියෙක්ට දුරකතන ඇමතුමක් දෙමින් අත්අඩංගුවේ පසුවන සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමඟ දුරකතනය මාර්ගයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දෙන මෙන් ඉල්ලා තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයාගේ එම අවශ්‍යතාවය මත පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතා භාවිතා කළ පෞද්ගලික දුරකතන අංකයක් මගින් මෙම ඇමතුම සම්බන්ධ කරගෙන ඇති බවටයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් වාර්තාවන්නේ.
කෙසේවෙතත් තමන් භාරයේ අත්අඩංගුවේ පසුවන සැකකරුවකුට තමන්ගේ දුරකතනය ලබාදීමට හැකියාවක් නැති බවත් එලෙස සිදු කරනු ලබන ඉල්ලීම පවා නීතී විරෝධි බවත් පවසමින් රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මේ නීති විරෝධී බලපෑම සම්බන්ධයෙන් රාජකාරිමය සටහනක් දමා ඇති අතර, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් කිරීමට නියමිත බවද වාර්තාවනවා.
මේ අතර ඊයේ (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊමේල් පණිවිඩයක් එවා ඇති උදය ගම්මන්පිල මහතා එහි අධ්‍යක්ෂවරිය වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි.එස්.මුතුමාලගෙන් තමන් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් වෙනුවෙන් තාවකාලික නීතීඥයකු වශයෙන් පෙනීසිටින බැවින් ඔහු හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබුණා.
පිල්ලෙයාන්ට මේ පිළිබඳව කළ දැනුම්දීමේ දී ඔහු ගම්මන්පිල මහතා හමුවීමට එකඟවී තිබෙනවා.
ඒ අනුව 1990 වසරේ අම්පාර දිස්ත්‍රික්කයේ නිරායුධ පොලිස් නිලධාරීන් 600ක් ඝාතනය කිරීමට අදාළව පිල්ලෙයාන්ට එරෙහිව සිදුවන විමර්ශන සම්බන්ධයෙන් ද නීති ආධාර සැපයීමට පිවිතුරු හෙළඋරුමයේ උදය ගම්මන්පිල මහතාට අවස්ථාව උදාවනු ඇති.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ 2004 සිට 2006 දක්වා උපකුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවිද්‍රනාත් පැහැරගෙන යාම සහ ඔහු අතුරුදන් කරවීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය ඇමතිවරයෙකු වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අප්‍රේල් 8 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.
2006 වසරේ දෙසැම්බර් 15 වැනිදා මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් පැහැර ගැණුනු අතර එම අතුරුදන් වීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 18කට පසුව වීම විශේෂත්වයක්.
එම අතුරුදන්වීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව 2006 වසරේ විමර්ශනයක් ආරම්භ කළ අතර එහිදී මහාචාර්යවරයා පැහැරගෙන ඇති බවට අනාවරණය වී තිබුණා.
පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනුණේ එම සිදුවීමෙන් වසර 19කට පමණ පසු ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළවයි.