27 C
Colombo
Thursday, February 20, 2025

බොරු තොරතුරු දුන් මහජන ආරක්ෂක අමාත්‍යංශයට අභියාචනාධිකරණයෙන් නියෝගයක්

- Advertisement -

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් පැහැර හැරියේයි චෝදනා පත්‍ර නිකුත් කළ නිලධාරීන් සම්බන්ධයෙන් වන තොරතුරු තමන් සතුව නැතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය කළ ප්‍රකාශයේ සත්‍යාසත්‍ය බව නොබලා එම තීන්දුව ස්ථිර කිරීමට තොරතුරු කොමිසම ගත් තීන්දුව අහෝසි කරන්නැයි ඉල්ලමින් ගොනු කළ අභියාචනයක් අද (11) අභියාචනාධිකරයේ විභාගයට ගෙන තිබෙනවා.

එහිදී, අභියාචනාධිකරණය විසින් වගඋත්තරකාර මහජන ආරක්ෂක අමාත්‍යංශයට පෙබරවාරි 13 වැනිදා අධිකාරණයේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළා.

මරදානේ පිහිටි සමාජය සහ සාමයික කේන්ද්‍රය වෙනුවෙන් එහි පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයකු වන මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් ගොනු කර ඇති මෙම අභියාචනය අද අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන් සමරකෝන් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙලෙස නොතීසි නිකුක් කිරීමට නියෝග කෙරුණා.

අභියාචක වෙනුවෙන් නීතිඥ මනුෂිකා කුරේ මහත්මිය සමඟ නීතිඥ සුරේන් ඩී පෙරේරා මහතා අධිකරණය ඉදිරියේ පෙනී සිටියා.

මේ අතර, මින් පෙර තොරතුරු කොමිසමේ තීන්දුවලට එරෙහිව පොදු අධිකාරීන් (තොරතුරු පනත යටතේ වැටෙන ආයතන) අභියාචනාධිකරණයට අභියාචනා යොමු කර ඇතත් කොමිසමේ තීන්දුවකට එරෙහිව පනතේ 34 වගන්තිය යටතේ අභියාචකයකු අභියාචනාධිකරණයට අභියාචනා කළ පළමු අවස්ථාව මෙය බව කොමිෂන් සභාවේ ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් පැහැරහැරියේයැයි කියන පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව චෝදනා පත්‍ර රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් එවනු ලැබූ බව මහජන ආරක්ෂක අමාත්‍යවරයාව සිටි සරත් වීරසේකර මහතා 2021 ජුනි මාසයේදී මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණා.

එම නිලධාරීන්ට චෝදනා පත්‍ර ලබා නොදෙන ලෙස පොලිස්පතිවරයා ලිඛිතව ඉල්ලීම් කළ බව ද පසුව වාර්තා වුණා.

ඒ සම්බන්ධයෙන් වන ලියවිලි ඉල්ලමින් මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙත සමාජය හා සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ කණ්ඩායම වෙනුවෙන් තරිඳු ජයවර්ධන විසින් තොරතුරු ඉල්ලීමක් යොමු කර තිබුණා.

එම තොරතුරු පුද්ගලිකත්වයට සම්බන්ධ තොරතුරු නිසා පනතේ ප්‍රතිපාදන අනුව ලබා දිය නොහැකි බව කියමින් මහජන ආරක්ෂක අමාත්‍යංශය ප්‍රතික්ෂේප කළ අතර කොමිසමට අභියාචනා කිරීමෙන් පසු මෙම තොරතුරු පුද්ගලිකත්වයට අදාළ නැති බවට තම පාර්ශවයෙන් කරුණු දැක් වූ බව තරිඳු ජයවර්ධන විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයේ සඳහන්.

එමෙන්ම, එම අභියාචනය මඟින් ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ අදාළ කරුණු දැක්වීමෙන් පසු මහජන ආරක්ෂක අමාත්‍යංශය තම ස්ථාවරය වෙනස් කරමින් එම තොරතුරු තමන් සතුව නැති බව ප්‍රකාශ කළ බවයි.

මෙම අභියාචනය තොරතුරු කොමිසමට යොමු කළේ මහජන ආරක්ෂක අමාත්‍යංශය තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් වන අතර පෞද්ගලික තොරතුරු බව කියමින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමට තොරතුරු කොමිසම අසමත්වී ඇති බවද අභියාචනයේ සඳහන්.

එමෙන්ම, මහජන ආරක්ෂක අමාත්‍යංශය අදාළ තොරතුරු තමන් සතුව නැතැයි කියමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම ගැන පරීක්ෂණයක් පවත්වන්නැයි කළ ඉල්ලීමද තොරතුරු කොමිසම සලකා බලා නැති බවත් අභියාචනය මඟින් තවදුරටත් පෙන්වා දෙනවා.

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ නිකුත් කළ රීති අනුව කොමිසමට පරීක්ෂණයක් කිරීමට හැකියාව ඇත්තේ අභියාචනයක් අතරතුරදී වන අතර මහජන ආරක්ෂක අමාත්‍යංශය ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරන බව සනාථ කිරීමට ලිපි අංක කිහිපයක් අභියාචක විසින් තම ලිඛිත දේශනයේදී සඳහන් කර ඇතත් කොමිසම සිය තීන්දුව ලබා දීමේදී ඒ ගැන පරීක්ෂණයක් කර නැති බවද අභියාචනයේ සඳහන්.

ඒ අනුව, මාධ්‍යවේදී තරිදු ජයවර්ධන මෙම අභියාචනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තොරතුරු කොමිසම විසින් ලබා දුන් තීන්දුව වැරදි බවයි.

ඒ අනුව ඔහු, තොරතුරු කොමිසම මෙම අභියාචනය සම්බන්ධයෙන් ලබා දී ඇති තීන්දුව අහෝසි කරන ලෙස අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව, මෙම අභියාචනයෙහි වැඩිදුර කැඳවීම පෙබරවාරි 13 වැනිදාට කල් තැබුණා.

RECENT ARTICLES - SINHALA

පාස්පෝර්ට් ගන්න එන අයට විශේෂ දැනුම්දීමක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් එක්දින සේවය යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පමණක් පැය 24 සේවයක් ක්‍රියාත්මක කරනු ලබන...

ඝාතනය ගැන වෙඩික්කරු පාපොච්චාරණය කරයි

0
සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කර ඇත්තේ, රුපියල් කෝටි එක හමාරක කොන්ත්‍රාත්තුවක් මත බව අත්අඩංගුවට පත්...

ගණේමුල්ල සංජීවගේ දේහය ගැන අධිකරණ නියෝගයක්

වෙඩි තබා ඝාතනය කළ අපරාධ කල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීවගේ මරණ පරික්ෂණය සිදුකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි විසින් අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග...

POPULAR ARTICLES

පාස්පෝර්ට් ගන්න එන අයට විශේෂ දැනුම්දීමක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් එක්දින සේවය යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පමණක් පැය 24 සේවයක් ක්‍රියාත්මක කරනු ලබන...

ඝාතනය ගැන වෙඩික්කරු පාපොච්චාරණය කරයි

0
සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කර ඇත්තේ, රුපියල් කෝටි එක හමාරක කොන්ත්‍රාත්තුවක් මත බව අත්අඩංගුවට පත්...

ප්‍රවීණ කවියෙකු අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ කවියෙකු වූ උපුල් සේනාධිරිගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්ත වන විට ඔහු 65 වන වියේ පසු වුණා. කාව්‍ය කෘති ගණනාවක් රචනා කරමින් කාව්‍ය කෘති පළ...