ලබන 14 වනදාට පෙර නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.
ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ අවසන් වරට පැවැති කැබිනට් මණ්ඩලයම සුළු වෙනස්කම් සහිතව නැවතත් පත් කළේ තාවකාලික පදනම යටතේයි.
අවස්ථා කිහිපයකදී ස්ථිර කැබිනට් මණ්ඩලය පත් කිරීම සඳහා දින නියම වුණත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමඟ එකඟතාව පැමිණීමට නොහැකි වීම නිසා මෙම පත් කිරීම් කල් දැමීමට සිදු වුණා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පොහොට්ටු පාර්ශවයෙන් ලබාදී තිබූ නම් ලැයිස්තුවෙහි කැබිනට් අමාත්‍යධුර සඳහා ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ සහ නාමල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් යෝජනා කර තිබුණු නමුත් ඔවුන්ට අමාත්‍ය ධුර ලබාදීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් වුණේ.
කෙසේ වෙතත් පොදුජන පෙරමුණ පාර්ශවයෙන් අවස්ථා කිහිපයකදීම නැවත නැවතත් ජනාධිපතිවරයා වෙත ඉල්ලීම් කෙරුණු ද ඔහුගේ තීරණයේ කිසිඳු වෙනස් සිදුව තිබුණේ නැහැ.
පසුකාලීනව ජනාධිපතිවරයාගේ තීරණයට පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ද එකඟ වී ඇති බවයි වාර්තා වුණේ.
ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සති අන්තයේ දේශගුණ විපර්යාස පිළිබඳ ලෝක සමුළුවට සහභාගී වීම සඳහා ඊජීප්තුව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයෙන් අනතුරුව නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා සඳහන් කරන්නේ.