රාජ්‍ය සේවක මූලික වැටුප් වැඩිවීමත් සමඟ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ අමතර රාජකාරි, අතිකාල දීමනා බෙදී යෑමේ සූත්‍රය වෙනස් කිරීමට ගත් තීරණයේ සංශෝධනයක් කිරීමට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
එම දීමනා බෙදී යන සූත්‍රය සංශෝධනය කිරීම අයිතිවාසිකම් කප්පාදුවක් බවට සෞඛ්‍ය වෘත්තිකයින්ගෙන් නැඟුණු චෝදනා සම්බන්ධයෙන් අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පවසා සිටියා.
මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ, වැටුප් වැඩි කිරීමේදී ඉදිරිපත් කිරීමට හැකි එක් යෝජනාවක් වන්නේ 80න් බෙදී යෑම එලෙසම තිබියදී මූලික වැටුප ඊට සරිලන ආකාරයකින් තැබීම බවයි.
කෙසේවෙතත්, 1:4 වැටුප් අනුපාතය තබාගනිමින් මූලික වැටුප වැඩි කිරීමට වැඩි බරක් තැබීමට තීරණය කර ඇත්තේ, උපරිම වැටුප අඩු වුවහොත් අවම වැටුප ලබන්නෙකුගේ වැටුප් වැඩිවීම අඩු අගයක් ගන්නා බැවින් බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
“ඒ නිසා අපි උපරිම වැටුප වැඩි කළා, වැඩි කරලා කිව්වා ඕගොල්ලන්ට දෙන දීමනා මේ විදියට සංශෝධනය කරන්නම් කියන එක, ඒ පිළිබඳව සංවාදයක් මතු වෙලා තියෙනවා. අපි ඒක අවශ්‍යනම් සංශෝධනය කරන්න ලෑස්තියි.
මේ බෙදීම ගණනය කරන්නේ 2027 ජනවාරි මාසයේ ලැබෙන වැටුපට, මේ වෙනස යෝජනා කළේ අප්‍රේල් මාසයේ වැටුපට නෙමෙයි. අවසානයේ ලැබෙන පූර්ණ වැටුප තමයි 120න් බෙදන්නේ, අපි යම් සංශෝධනයක් ගේන්න කැමතියි මෙහෙම. මූලික වැටුප 80 න් බෙදන අයගෙන් 80න් බෙදලා ඒකෙන් 2/3ක් ලබා දෙනවා. 120න් බෙදීමක් නැහැ, 80වම තියලා ඒකෙන් 2/3ක් ලබා දෙනවා.
120න් බෙදපු එක, 120න්ම බෙදලා 3/4 ක් ලබා දෙනවා, 160 , 200 වුණානේ 200 කරන්නේ නැතුව 160න්ම බෙදලා 4/5ක් ලබා දෙනවා. 200, 240 වුණානේ ඒගොල්ලොන්ට 200න්ම බෙදලා 5/6ක් ලබා දෙනවා. ඉතුරු ටික ආර්ථිකය ඉතාමත් හොඳ ස්ථාවර තත්වයට පත් වුණාම අපි ලබා දෙනවා. ඒගොල්ලෝ කියනවාන්ම් අර 80න් බෙදීම අයිතියක් කියලා අපි අයිතිය ආරක්ෂා කරලා දෙන්නම්. හැබැයි මේ වැටුප් වැඩි වීම දෙන්නෙ ඒකෙන් 2/3යි… එතකොට ඒගොල්ලන්ගේ මූලධර්මය, අභිමානය සියල්ල රැකිලා තියෙනවා”